FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට සම්බන්ධයෙන් කිසිම ගිවිසුමක් සකස් කර නෑ – ජනපති අවධාරණය කරයි..

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය විකිණීමට කිසිම ගිවිසුමක් සකස් කර නැති බවත්, ඒ සඳහා කමිටුවක් පත්කොට ඇති අතර තවම එහි වාර්තාව පැමිණ නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දී ඊයේ (05) පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ය.

මේ රටේ ජනතාව තමන් ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් තමා කෙරේ තැබූ විශ්වාසය කිසිසේත් නොබිඳින බවත් හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කර ඇති බවත් පැවසීය.

එහි වාර්තාව මෙන්ම අමාත්‍යාංශ ‍ලේකම්වරුන් තිදෙනකුගේ කමිටුවේ වාර්තාව මතෛක් එළිදක්වා නැති බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

හත්වැනිදා ගිවිසුමක් අත්සන් කරනවා යැයි ප්‍රචාරය වුවද, එවැනි ගිවිසුමක් මතෛක් සකස් කර නොමැති බවත්, එවැනි එකඟතා රටට ගැළපෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන අයුරින් අපේ මාතෘ භූමියට ගැළපෙන ලෙස රටේ ආරක්ෂාව භාරකාරිත්වය සුරැකෙන අයුරින් අත්සන් කිරීමට තමා කැපවී සිටින බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ආණ්ඩුව කටයුතු කිරීමේ දී රහස් නැති බවත්, කටයුතු කරන්නේ ඉහළ විවෘත බවකින් නිසා නව ගිවිසුම රටේ ව්‍යවස්ථාවට, රටට ගැළපෙන, රටේ ගෞරවය සුරැකෙන ලෙස සකස් කරන ලෙසට තමා උපදෙස් දී ඇති බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ 2017 දී ආණ්ඩු පෙරළනවා යැයි ඇතැම් අය කීවද, 2020 වනතුරු ආණ්ඩුව වෙනස් කිරීමට තමා ඉඩ නොදෙන බවය.

නීති විරෝධී ලෙස හෝ ව්‍යවස්ථා විරෝධී ලෙස ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණය කරන්න තමා කිසිසේත් ඉඩ නොදෙන බවත්, ආණ්ඩු පෙරළීමට සිහින දකින අයට පැහැදිලිව ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.