FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ රටට අහිතකර වගන්ති නෑ – ජනපති

ඉදිරියේ ගෙන ඒමට යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත තුළ රටට අහිතකර කිසිදු වගන්තියක්‌ ඇතුළත් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මල්වතු අස්‌ගිරි මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැකීමෙන් අනතුරුව (31 දා) පැවසුවේය.

යෝජිත නව ව්‍යවස්‌ථාව කිසිසේත්ම රට බෙදන ලියවිල්ලක්‌ නොවන බවත් මහනාහිමිවරු දෙනම හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එරෙහිව ඇතැමුන් කුමන මත පළ කළද ඒ තුළින් රටේ ඒකීයභාවයට හෝ සම්බුද්ධ ශාසනයට කිසිදු හානියක්‌ නොවන බව ද මෙහිදී ජනාධිපතිවරයා මහනාහිමිවරුන් ඉදිරියේ සඵත කළේය.

රටට හානිකර අන්දමේ කිසිදු ක්‍රියාමාර්ගයකට තම ධුර කාලය තුළ ඉඩක්‌ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසුවේය.

නව වසර නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්‌ගිරි මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් ජනපතිවරයා උන්වහන්සේලා හමුවෙහි තවදුරටත් අදහස්‌ දක්‌වමින් ෙත්‍රෙනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය නොමැතිව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සැකසීමට රජය සූදානම් නොමැති බවත් එය තනි මතයකට සිදුකරන්නාවූ ක්‍රියාවලියක්‌ නොවන බවත් ප්‍රකාශ කළේය.

මහජන නියෝජිතයින්ගේ, විද්වතුන්ගේ පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවගේද අදහස්‌ හා යෝජනා ලබා ගනිමින් මෙය සකස්‌ කරන බවද හෙතෙම පැවැසුවේය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර කාගොඩ ඥානරතන හිමියෝ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීම සඳහා රජය ගත් පියවර සම්බන්ධව ජනතාව නිසි දැනුවත් වීමක්‌ සිදුව නොමැති බව ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව ජනතා අදහස්‌ හා යෝජනා ඉදිරිපත් කිරීමට නැවත අවස්‌ථාවක්‌ ලබා දෙන බව මහානාහිමි අනුශාසනාව පිළිගනිමින් ජනපතිවරයා පැවැසුවේය. රජය ගතවූ දෙවසරක කාලය තුළ අනුගමනය කළ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය තුළ ලෝකයේ ප්‍රධාන රටවල් රැසක අනුග්‍රහය ශ්‍රී ලංකා වට හිමිව තිබෙන බවද හෙතෙම කීය.

රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් රටට අවශ්‍ය වූ යහපත් සමාජිය හා දේශපාලනික පරිවර්තන රැසක්‌ පසුගිය වසර දෙකක කාලය තුළ ජනපතිවරයාගේ නායකත්වය යටතේ යහපාලන රජය විසින් සිදු කළත් ඒ සම්බන්ධව ජනතාව නිසි අයුරින් දැනුවත්වී නොමැති බවක්‌ පෙනෙන්නට තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවැසූහ.

මේ සම්බන්ධව අවධානය යොමුකොට රජයේ වැඩපිළිවෙළ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට නිසි යාන්ත්‍රණයක්‌ සකස්‌ කරන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාට දැනුම් දුන්හ.

ඉදිරියේදී මතුවිය හැකි බලශක්‌ති අර්බුදය සම්බන්ධවද මල්වතු මහනාහිමියන් ජනපතිවරයාගේ අවධානය යොමු කළ අතර ඒ පිළිබඳ අදහස්‌ දක්‌වමින් ලෝකයේ සෙසු රටවල් සේම ශ්‍රී ලංකාවද බලශක්‌ති අර්බුදයට විසඳුම් සෙවීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයා හමුවේ පැවැසීය.