FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණය කොමිෂන් සභාව පොරොන්දු කඩ කරයි..

පළාත් පාලන ආයතන සීමා නිර්ණය වාර්තාව ඊයේ (29දා) දිනයේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනිවාර්යයෙන්ම බාරදෙන බවට සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහන් කළත් ඊයේ දිනයේදීත් එම වාර්තාව බාරදී නොමැති බව වාර්තා වේ.

අදාළ වාර්තාව මේ වසරේ මාර්තු 31 වන දිනට පෙර භාරදෙන බවට මුලින්ම ප්‍රකාශ කළ අතර, ඉන්පසුව අප්‍රේල් 30 වන දින කමිටු වාර්තාව ලබා දෙන බව සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහන් කරනු ලැබිණි.

එහෙත් එම දිනයන් වලදී වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර, නැවත අගෝස්තු 31 වන දිනට පෙර සහ ඔක්තෝබර් 31 වන දිනට භාරදෙන බවට ප්‍රකාශ විය.

එම දිනයන්වලදීද වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර, නොවැම්බර් 30 වාර්තාව ලබාදෙන බවට සඳහන් විය.

එදිනත් වාර්තාව භාරදීමක් සිදු නොවූ අතර, දෙසැම්බර් 15 වන දින වාර්තාව භාරදෙන බව සඳහන් විය.

එහෙත් එදිනද වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර, දෙසැම්බර් 27 භාරදෙන බවට ප්‍රකාශ විය. දෙසැම්බර් 27 දිනද වාර්තාව භාර දීමක් සිදු නොවූ අතර, එය ඊයේ (28දා) දිනයේදී භාර දෙන බවට සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක් පීරිස් මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක් පීරිස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වාර්තාවේ  තවත් කටයුතු කිහිපයක් සිදුකිරීමට තිබෙන බැවින් ඊයේ (28දා) දිනයේදී වාර්තාව භාරදීමට නොහැකි වූ බවයි.

ඉදිරි දිනයකදී එම වාර්තාව  භාර දෙන බවද හෙතෙම පවසා සිටියේය.