FAST NEWS

24×7 Around the Globe

නව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය වාර්තාව 27 කරළියට..

නව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභා වාර්තාව ලබන 27 වැනිදා නියත වශයෙන්ම පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට භාර දෙන බව එහි සභාපති අශෝක පීරිස් මහතා පවසා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභා නියෝජිතයන් අතර ඊයේ (22)පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අශෝක පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර එහි පිටපත ප්‍රමාදයකින් තොරව ලබා දීමට හැකියාව පවතින බව ද අශෝක පීරිස් මහතා පවසා තිබේ.

මෙහිදී මහින්ද දේශප්‍රිය මහතා ඔවුන්ට පවසා ඇත්තේ තවදුරටත් සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රමාද වන්නේ නම් මැතිවරණ ප්‍රමාදයට හේතුව එම කමිටුව බව ජනතාව තේරුම් ගනු ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ වාර්තාව ලබන 27 වැනිදා පෙරවරුවේ පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට භාර දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අශෝක පීරිස් මහතා මෙහිදී සඳහන් කර ඇත.

වාර්තාව භාරදීමෙන් පසු පළාත් පාලන අමාත්‍යවරයා විසින් අදාළ සීමා නිර්ණයන් සහ පළාත් පාලන සභික ලැයිස්තු ගැසට් කිරීමට නියමිතය.