FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොප් වාර්තාව නීතිපති යොමු කිරීමට කිසිවෙකුට බෑ – හදුන්නෙත්ති

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව කෝප් කමිටුව විසින් සැකසූ වාර්තාව සභාගත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී තීරණයක් නොගෙන නීතිපතිවරයාට යොමු කිරීමේ බලයක් කිසිවකුට නැතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

අදාළ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමටද හැකියාව ඇත්තේ පාර්ලිමේන්තු අනුමැතියකින් පසුව බවද මන්ත්‍රීවරයා කීවේය.

එසේ නොමැතිව පාර්ලිමේන්තුවේ කාර්යයක් ආණ්ඩුවේ කටයුත්තක් ලෙස සලකා අගමැතිවරයා විසින් සිදුකිරීම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කථානායකවරයාගේ කටයුත්තක් අගමැතිවරයා විසින් පවරා ගැනීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඊයේ (22) කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

එම ලිපිය මගින් හඳුන්නෙත්ති මහතා ඉල්ලා ඇත්තේ 2017 වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම මෙම වාර්තාව ගැන විවාද කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසය.

මන්ත්‍රීවරයා කථානායකවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුකළ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවලදී සිදුවී ඇති මූල්‍යමය අක්‍රමිකතා සොයා බැලීමට විශේෂ කාරක සභාවක් ලෙස කටයුතු කළ ‍පොදු ව්‍යාපාර කාරක සභාව වෙනුවෙන් එහි සභාපතිවරයා ලෙස මා විසින් අදාළ වාර්තාව 2016 ඔක්තෝබර් 28 වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු ‍ලේඛනයකි. ඉන් ඉක්බිතිව එම වාර්තාවට අදාළව පියවර ගත යුත්තේ ගරු කථානායකවරයා ලෙස එබතුමා විසින් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මනා අත්දැකීම් ඇති ඔබතුමාට අවබෝධයක් ඇති බව මම දනිමි.

නමුත් ඔබතුමා වෙනුවට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අදාළ වාර්තාව නීතිපතිවරයාට යොමු කළ බව මාධ්‍ය මගින් නිතර වාර්තා පළ විය. එම බැඳුම්කර ගනුදෙනුවට අදාළව ‍පොදු ව්‍යාපාර කාරක සභාවෙ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එය තීරණය කළ යුත්තේද අගමැතිවරයා විසින් නොව මුළු මහත් පාර්ලිමේන්තුව විසිනි. නීතිපති උපදෙස් ලබාගැනීම හෝ ඉදිරි අනිකුත් පියවර ගැනීමේ බාරකාර වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවේ අප සියලු දෙනාම වෙනුවෙන් ඔබතුමා වෙතය. එම කටයුත්ත ආණ්ඩුවේ කටයුත්තක් ලෙස සලකා අගමැතිතුමා විසින් සිදු කිරීම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔබතුමාගේ කටයුත්තක් අගමැතිවරයා විසින් පවරා ගැනීමකි.

2016 ඔක්තෝබර් 28 දින සභාගත කරන ලද බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව 2017 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරයේදීම පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු විධිමත් ලෙස සිදු කිරීමට අදාළව පියවර ගන්නා මෙන් ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙසත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසත් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.