FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට එරෙහිව මන්ත්‍රීන් 58 ක ගෙන් ලිපියක්..

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ‍ලේකම් නිමල් බෝපගේ මහතාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 58 දෙනකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලිපියක් භාරදීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

යහපාලනය ජාතික රජයේ ක්‍රමවේදය අවස්ථා කිහිපයකදීම අභියෝගයට ලක් කළ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ‍ලේකම්වරයා තවදුරටත් ධුරයේ තබා නොගන්නා ලෙසද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එම ලිපිය මගින් ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමට නියමීත බව පැවසේ.

ආණ්ඩු පක්ෂ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස තම මැතිවරණ කොට්ඨාසවල කටයුතු සඳහා සක්‍රියව දායකවීමට කුලී පදනම මත වාහන ගැනීමේ කැබිනට් අනුමැතියට එරෙහිව කටයුතු කිරීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නගන චෝදනා අතර වන බවත් සඳහන්.

අමාත්‍ය මණ්ඩල තීරණයක් බලගන්වන ලෙස විෂය භාර අමාත්‍යවරයා දැනුම් දුන් විට ඒ අනුව ක්‍රියා කිරීමට ‍ලේකම්වරයා බැඳී සිටිතැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

අධීක්ෂණ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කුලී පදනම මත ලබා ගන්නා වාහන රජයට අයිතිවීමේ යාන්ත්‍රණ ක්‍රමවේදයක් සකස් කර තිබියදී මෙලෙස අමාත්‍යාංශ ‍ලේකම්වරයා වාහන ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් ගැටලු මතුවන බවද එම මන්ත්‍රීවරු අවාධරණය කරන බවද වාර්තා වේ.