FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත පෙබරවාරියේදී පාර්ලිමේන්තුවට…

සංවර්ධන විශේෂ විධිවිධාන පනත ලබන වසරේ (2017) පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බව උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා පවසයි.

එම පනත ගෙනෙන්නේ පසුගිය රජය යටතේ බැසිල් රාජපක්‍ෂලා වැනි සුපිරි ඇමැතිකම් ඇති කිරීමට නොව අමාත්‍යාංශ සම්බන්ධීකරණය කොට ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමේ හැකියාව ඇතිකර ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.

ඒ සඳහා තනි ඒජන්සියක්‌ ඇති කරන බවත් දැනට පවතින ආයෝජන මණ්‌ඩලය එම නව ආයතනය බිහිකරන ප්‍රාරම්භක ආයතනය වනු ඇති බවත් ආයෝජකයන් රස්‌තියාදු නොකර ඔවුන්ට කඩිනමින් පහසුකම් ලබාදී රටට වැඩි වශයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවක්‌ ඇති බවත් මලික්‌ සමරවික්‍රම මහතා කීවේය.

එහි කිසිදු නිලධාරියකුට වංචා හා දූෂණ සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකියාවක්‌ ඇති නොවන බවද එසේ නොමැතිව තම රජයට කිසිදු සුපිරි ඇමැතිවරයකු ඇති කිරීමට අවශ්‍ය නැති බවද ඇමැති මලික්‌ සමරවික්‍රම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

චීනයට අක්‌කර 15,000 ක්‌ 99 අවුරුදු බදු ක්‍රමයට ලබා දෙන්නේ අදියර කිහිපයක්‌ යටතේ බවත් ඒ අක්‌කර 15,000 න් හම්බන්තොටින් ලබා දෙන්නේ අක්‌කර 5000 ක පමණ ප්‍රමාණයක්‌ බවත් උපායමාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා කීවේය.

සෙසු අක්‌කර 10,000 ක ප්‍රමාණය මොනරාගල, ඇඹිලිපිටිය සහ මාතර යන දිස්‌ත්‍රික්‌කවලින් ලබා ගැනීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම අක්‌කර 15,000 ප්‍රමාණය වන රක්‌ෂිතවලින් තොරව සහ මහජනතාවට අවම බලපෑමක්‌ වන පරිදි ලබා ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

අක්‌කර 15,000 ලබා දෙන්නේ හම්බන්තොට වරාය වෙනුවෙන් පමණක්‌ නොව දකුණු පළාතේ ඇති කරන විශේෂ ආර්ථික කලාපය වෙනුවෙන් බවද ඇමැති සමරවික්‍රම කීවේය.

රුහුණු සංවර්ධන සංස්‌ථාව (Ruhuna Development coopration) නව ආයතනයක්‌ ලෙස ස්‌ථාපිත කොට මේ විශේෂිත ආර්ථික කලාපය ඇති කරන බවද එය වසර පහක හයක පමණ ක්‍රියාවලියක්‌ බවද ඇමැතිවරයා කිවේය.

ඒ නිසා හම්බන්තොටින් පමණක්‌ අක්‌කර 15,000 ලබා දෙන බවට එල්ල කරන චෝදනාව අසත්‍ය බවත් හම්බන්තොටින් ඊට අයත් වනු ඇත්තේ අක්‌කර 5000 ක්‌ පමණක්‌ බවද එම ප්‍රමාණයද එකවර නොව වරින් වර ලබා ගැනීමට යෝජිත බවද ඇමැතිවරයා කීවේය.

මේ අක්‌කර 15,000 න් සියයට 95 ක්‌ පමණක්‌ රජයේ ඉඩම් බවද පෞද්ගලික නිවාස හෝ ඉඩම් අයත් වන්නේ නම් ඒ අයත් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ එකඟත්වයද ඇතිව ලබා ගන්නා බවද ඇමැතිවරයා කීවේය.

දකුණේ ඇති කරන මේ විශේෂිත ආර්ථික කලාපය තුළින් වසර 5, 6 කාලයේදී ලංකාවේ නව කර්මාන්ත ශාලා 2400 ක්‌ අලුතින් ඇතිවී ලක්‍ෂ හතරක්‌ අලුත් රැකියා අවස්‌ථා ජනිත වනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ තුළින් ඉදිරි වසර තුනේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ අතිවිශාල ආයෝජනයක්‌ රටට ගලා එනු ඇතැයිද ඒ නිසා දකුණේ විශාල දියුණුවක්‌ ඇතිවී ජනතාවට විශාල ප්‍රතිලාභ අත්වනු ඇති බවද මේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයේ එකඟත්වය ඇති බවද ඇමැති මලික්‌ සමරවික්‍රම කීවේය.

මේ ගැන ජනතාව කිසිදු බියක්‌ ඇති කරගත යුතු නැති බව ද මේ වැඩපිළිවෙළ නිසා බියක්‌ ඇතිකරගත යුත්තේ ඒකාබද්ධ විපක්‍ෂය බව ද ඇමැති මලික්‌ සමරවික්‍රම වැඩිදුරටත් කීවේය.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ 25 වැනි මහලේ පිහිටි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.