FAST NEWS

24×7 Around the Globe

විදුලිය කැපීමක් හෝ බිල වැඩි කිරීමක් සිදු කරන්නේ නෑ – ඇමති සියඹලාපිටිය..

 

වසර දහයකට පසුව දිවයිනට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් විදුලි අර්බුදයක් ඇති විය හැකි බවත්, එසේ වුවද විදුලිය කැපීමක් හෝ විදුලි බිල වැඩි කිරීමක් සිදු නොකරන බවත් විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට පවතින අදහස්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඊයේ (20දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මනා කළමනාකරණයක් යටතේ තම අමාත්‍යාංශය කටයුතු කරන අතර ඉදිරි කාලයේදී ජනතාවද අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරමින් සහාය දක්වන ලෙස අමාත්‍යවරයා එහිදී ජනතාවගෙන්ද ඉල්ලීමක් කළේය.

2006 වර්ෂයේදී වාර්ෂිකව ජලාශවලට ගිගා වොට් 4402 ජල ධාරිතාවක් එක්රැස් වූ බවත් 2016 දෙසැම්බර් මාසය වන විට එම ප්‍රමාණය 2845ක් බවත් එම ප්‍රමාණය 3050 දක්වා අපේක්‍ෂා කරන බවත් සියඹලාපිටිය මහතා පැවැසීය.

කෙසේ වුවද පවතින අර්බුදය පිළිබඳ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද පැවැසූ ඇමැතිවරයා සඳහන් කළේ අඛණ්ඩ විදුලි සම්පාදනයක් සඳහා අතිරේක විදුලි ජනනයන් පෞද්ගලික අංශය මඟින් ලබා ගැනීමට කටයුතු කරන බවය.

තාවකාලික ක්‍රමවේදයක් ලෙස 100 කට වඩා වැඩි ජනන යන්ත්‍ර ඇති පාරිභෝගිකයන්හට ඔවුන්ගේ විදුලි අවශ්‍යතාව එම ජනන යන්ත්‍රවලින් ලබා ගැනීමට වනා වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන අතර එලෙස නිපදවන ඒකකයක් සඳහා රුපියල් 36.00ක ගෙවීමක් සිදු කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.