FAST NEWS

24×7 Around the Globe

ලක් සතොසින් සහල් කිලෝවක් රුපියල් 78කට අලෙවි කරන්නැයි ඇමතිගෙන් නියෝග..

උත්සව සමයේ සහල් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග මිලදී ගැනීමටත් සහල් මෙට්ට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමටත් කර්මාන්ත හා වාණිඩ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස් ලබා දී තිබේ.

මේ යටතේ වී අලෙවි මණ්ඩලය සතුව ගබඩාවල ඇති සුදු සහ නාඩු වී මෙට්ට්‍රික් ටොන් විසි දහසක් වහාම මිලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වී මෝල් මඟින් සහල් බවට පත් කර ලංකා සතොස හරහා සහල් කිලෝවක් රුපියල් 78ක මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ වන විට වෙළෙඳපොළේ අධික මිලට සහල් විකිණීම නැවැත්වීමට ලංකා සතොස හරහා අඩුම මිලට සහල් අලෙවි කර වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් ඇති කිරීම හරහා අඩු මිලට  සහල් ලබාදීමට මේ තුළින් හැකියාව ඇති බව අමාත්‍යරයා පෙන්වා දෙයි.

කුමන ආකාරයකින්වත් රට තුළ සහල් හිඟයක් මවා පෑමට ඉඩ නොතබන බවත් උත්සව සමයේ වැඩි මිලට සහල් අලෙවි කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙයට සමගාමීව පාරිභෝගික අධිකාරියේ නියමයන් උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.