ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පැය 48ක තැපැල් සංකේත වැඩ වර්ජනය හේතුවෙන් අද (20) සහ හෙට (21) රටපුරා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල වසා දැමෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
මෙම අරගලය සඳහා රට පුරා සිටින තැපැල් සේවකයින් 21,000කට වැඩි පිරිසක් සහභාගි වී සිටිති.
මෙරට ප්‍රධාන තැපැල් කාර්යාල 658ක් පවතින අතර රටේ ඇති උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි.
මෙම වෘත්තීය අරගලය හෙට (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුව ද මෙම වෘත්තීය අරගලයෙන් පසුව දින 14ක කාලය තුළ නිසි විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ අරගලයකට යන බවද එම පෙරමුණ පවසයි.
6/2006 රාජ්‍ය සේවා චක්‍රලේඛයට අනුව බඳවාගැනීමේ පටිපාටිය තැපැල් සේවයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම, තැපැල් සේවයේ සියලු ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ඉවත්කිරීම, උසස්වීම් ලබාදීමේ දී හා බඳවා ගැනීම් සිදු කිරීමේ දී ඊට අදාළව කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම, තැපැල් සේවයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මකය.
මෙම කාලය තුළ රටේ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට අදාළ චක්‍රලේඛය ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන්ට හා නියෝජ්‍ය තැපැල්පතිවරුන්ට යවා ඇති බව මේ සම්බන්ධව කළ විමසීමේ දී තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසීය.
සේවයට නොපැමිණෙන අය සම්බන්ධව ඉදිරියේ දී පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.