FAST NEWS

24×7 Around the Globe

යහපාලන ආණ්ඩු පාර්ලිමේන්තුවේ නව තනතුරු 05 ක් ඇති කෙරේ..

පාර්ලිමේන්තුවේ අලුතින් ඇති කෙරෙන ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර ප්‍රධාන සංවිධායක තනතුරු සඳහා යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකෙහිම මන්ත්‍රිවරුන් පත්කිරීමට යන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකෙන් එක් තනතුරකට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය අශූ මාරසිංහ සහ සහකාර ප්‍රධාන සංවිධායක තනතුරු තුනෙන් දෙකක් සඳහා කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රි ජේ. සී. අලවතුවල සහ මාතලේ දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රි රංජිත් අලුවිහාරේ පත්කිරීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්‍රිවරුන් දෙදෙනකු ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරකට හා සහකාර ප්‍රධාන සංවිධායක තනතුරට පත්කිරීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු, ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ කටයුතු අතර පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පූර්ණකාලීනව විශාල වගකීම් භාරයක් ඉටු කිරීමට සිදුව ඇති බැවින් සහාය ලබා දීම පිණිස මෙසේ නව තනතුරු ස්ථාපිත කෙරෙන බවද වාර්තා වෙයි.