FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රිට එරෙහි වු සනත් නිශාන්තට විනය පරික්ෂණක්..

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලනිප නායකත්වය නොපිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලනිප මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලනිප විනය කමිටුව තීරණය කොට තිබේ.

ඒ අනුව විනය පරීක්ෂණය ලබන ජනවාරි මස 7 වැනි දින උදේ 10.00ට පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව පක්ෂයේ විනය කමිටුව ලිඛිතව දැනුම් දී ඇත. නිශාන්ත පෙරේරා මන්ත්‍රිවරයාට එරෙහිව විනය පරීක්ෂණය පැවැත්වීමට පෙර ඔහු වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට නිදහසට කරුණු මුලදී විමසා තිබූ අතර ඔහු එයට දී ඇති පිළිතුර සෑහීමකට පත්විය නොහැකි නිසා මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කොට තිබේ.

නිශාන්ත පෙරේරා මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලනිප විනය කමිටුවේ සාමාජිකයන් වන්නේ නීතිඥ චම්පානි පද්මසේකර, නීතිඥ කීර්ති සිගේරා සහ නීතිඥ බී. ජයමාන්න මහත්වරු ය. මීට කලින්ද ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වූ ආවස්ථාවේ ඇතැම් මන්ත්‍රිවරුන් විනය පරීක්ෂණවලට පෙනී සිට නැත.

විශේෂයෙන් අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර සහ ශ්‍රී පති සූරියආරච්චි යන හිටපු ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වුවත් ඔවුන් ඒවාට පෙනී නොසිටීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූ ලෙස සලකන ලදී. විනය පරීක්ෂණයට කැඳවීමක් ලැබී තිබේදැයි  නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසූ විට කීවේ තමාට මෙතෙක් එවැනි ලිඛිත දැනුම්දීමක් කර නැති බවයි.

එසේම පක්ෂයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික තිදෙනාම පක්ෂයේ විනය ආරක්ෂා නොකළ අය බැවින් ඒ අයට පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට සුදුසුකමක් නැතැයිද මේ තිදෙනාම වෙනත් පක්ෂවලින් ඡන්දය ඉල්ලා ඒ පක්ෂ දිනවීමට කටයුතු කළ අය යැයිද මන්ත්‍රිවරයා පැවැසීය.