FAST NEWS

24×7 Around the Globe

වරායේ සේවයට වාර්තා කිරීමේ සේවක තීන්දුව අද – අධිකරණයෙන් කොන්දෙසි 07 ක්..

හම්බන්තොට වරායේ සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් සියලුම සේවකයින් සමග සාකච්ඡා කොට අද (15) දිනයේ තීරණයකට එළැඹෙන බව මාගම්පුර වරාය සේවක කමිටුවේ ‍ලේකම් ගයාන් සඳරුවන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

වරායට සිදුවූවා යැයි කියන හානිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගැනීමට සූදානම් නොමැති බවද මාගම්පුර වරාය සේවක කමිටුවේ ‍ලේකම්වරයා තවදුරටත් පැවසීය.

විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග ඊයේ (14) කොළඹදී මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී තම ස්ථාවරය අමාත්‍යවරයාට දැනුම් දුන් බවත් ඒ මහතා අවධාරණය කළේය.

මේ අතර වරාය හා නාවික පරිශ්‍රයේ ඊයේ (14) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අද (15) පස්වරු 2.00ට පෙර සේවයට වාර්තා නොකරන සියලුම දෙනා සේවය හැර ගියා සේ සලකන බවය.

වර්ජනය හේතුවෙන් වරාය කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් අද දිනයේද නෞකා කිහිපයක් පැමිණීමට නියමිත බැවින් කොළඹ වරායෙන් හෝ සහයෝගය ලබා ගනිමින් හම්බන්තොට වරාය කටයුතු අද (15) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

වර්ජකයන් නැව් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම හේතුවෙන් හම්බන්තොට වරාය අවදානම් සහිත වරායක් බවට පත්වීමට ඉඩ ඇති බවත් ඒ මහතා පැවසීය.

වර්ජනය හේතුවෙන් නැව් නොපැමිණීම, නැව් රඳවා ගැනීම, සී.සී.ටී.වී, කැමරාවලට හානි සිදුවීම, ජල ටැංකි සහ විදුලි උපකරණවලට හානි සිදුවීම යන සියල්ල සලකා බලා ඒ පිළිබඳ පාඩුව අයකර ගැනීමට වර්ජකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

මේ අතර සත්‍යග්‍රහය නිසා වරාය පරිශ්‍රයට හානියක් වීම හා දෛනික කටයුතුවලට බාධා නොකරන ලෙස දන්වමින්  හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ වර්ජනයේ හා සත්‍යග්‍රහයේ නිරත සේවක පිරිසට හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා විසින් දින 14 කට බලපැවැත්වෙන පරිදි කරුණු හතකින් යුතු ආඥාවක් ඊයේ (14) සවස නිකුත් කරන ලදී.

හම්බන්තොට මූලස්ථාන ‍පොලිසිය මෙම සත්‍යග්‍රහය සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

එම ආඥාව මෙසේය.

ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට අනතුරක් සිදුවිය හැකි බවට සෑහීමට පත්වීම මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (2) වගන්තිය ප්‍රකාරව පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්වීම මත තොරතුරු වාර්තාවේ නම සඳහන් 1 සිට 20 දක්වා වන වගඋත්තරකාර පාර්ශ්වයන් වෙත පහත දැක්වෙන කොන්දේසීන්ගෙන් සමන්විත ආඥාවක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව නිකුත් කරලීමට තීරණය කරමි. එකී ආඥාවට අදාළ කොන්දේසි කවරේද යත්,

1. හම්බන්තොට වරාය වෙත ඇතුළුවීමට හෝ පිටවීමට පවත්නා කිසිදු දොරටුවක් අවහිර කිරීමෙන් වැළකිය යුතුය.

2. වරාය තුළට ඇතුළු වන කිසිදු ජාත්‍යන්තර නෞකාවකට හෝ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කිසිදු යාත්‍රාවකට මුහුදෙන් ඇතුළුවීමට හෝ නැවත පිටවීමට කිසිදු ප්‍රතිරෝධය පෑමක් සිදු නොකළ යුතුය.

3. වරාය තුළට නීත්‍යනුකූල අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකා ‍පොලිසියේ හෝ නාවික හමුදාවේ හෝ වරාය අධිකාරියේ ලිඛිත අවසරය සහිතව ඇතුළු වන කිසිදු පාර්ශ්වයක් වෙත තර්ජනය කිරීම, එම අයගේ රාජකාරිවලට බාධා ඇති වන පරිදි ප්‍රතිරෝධය පෑම නොකළ යුතුය.

4. වරාය තුළ කිසියම් පරිශ්‍රයක, යන්ත්‍රයක ක්‍රියාත්මක භාවයට අවශ්‍ය යතුරක් හෝ වෙනයම් උපකරණයක් නීත්‍යනුකූලව භාරදී ඇති යම් සේවකයකු හෝ නිලධාරියකුගෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියකු විසින් අදාළ යතුර හෝ උපකරණය භාර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවකදී එකී යතුර හෝ උපකරණය අනවශ්‍ය කාල ප්‍රමාදයකින් තොරව එකී වරාය අධිකාරියේ බලය පවරන ලද නිලධාරියා වෙත භාර දිය යුතුය.

5. හම්බන්තොට වරායේ කිසිදු දේපළකට හානි කිරීමෙන් හෝ හානි සිදුවන ආකාරයට හැසිරීමෙන් වැළකිය යුතුය.

6. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි නිරත කිසිදු අවස්ථාවකදී එකී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසිවක්, වරායේ කටයුතු වෙනත් පාර්ශ්වයන් විසින් ඉහත කී ප්‍රකාරව වරාය අධිකාරියේ අධිකාරය යටතේ සිදුකරන අවස්ථාවන්හිදී එකී කාර්යයන්ට බාධා වන පරිදි සිදු කිරීමෙන් වැළකිය යුතුය.

7. කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා හම්බන්තොට වරායේ කිසිදු චංචල දේපළක් භාවිතයට නොගත යුතු අතර නිශ්චල දේපළ ඉහත කී 6 වන කොන්දේසිය උල්ලංඝනය වන පරිදි භාවිතයට නොගත යුතුය.