FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත කෙරේ..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කිහිපයක් ඉවත් කොට ඒවා ඇතුළත් කර  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ස්ථාපිත කළ අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමට නියමිත බවත් පැවසේ.

මෙම අධිකරණය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් හෝ ව්‍යවස්ථාපිත දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පත් කළ යුතු බවත් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් එහි විනිසුරුවරුන්ගේ පත්කිරීම් සිදුකිරීමට ද යෝජනා වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණයෙහි අධිකරණ බලයට යටත් වන ගැටලුවක් රටෙහි කිසියම් අධිකරණයක් ඉදිරියෙහි විභාග වන නඩුවකදී පැන නගිනු ලබයි නම්, එකී ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කළ යුතුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙහි අධිකරණ බලය ලෙස කරුණු හයක් පෙන්වා දී තිබේ.

ඒ අනුව කිසියම් කරුණක්, ගැටලුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ විෂය පථයට ඇතුළත් වේද යන්න තීරණය කිරීමේ බලය ද  ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය හිමිවේ.

පනත් කෙටුම්පත්වල අධිකරණ සමාලෝචනය, නීති හා ව්‍යවස්ථාවල අධිකරණ සමාලෝචනය, මධ්‍යම ආණ්ඩුව හෝ පළාත් අතර ඇති වන ගැටලු, පාර්ලිමේන්තුවෙහි වරප්‍රසාද කඩ කිරීම, තම අධිකරණය විසින්ම ලබා දෙන තීන්දු සමාලෝචනය කිරීම යනාදි අධිකරණ බලයන් මේ අධිකරණයට හිමිවේ.

පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අර්ථ නිරූපණය කර ගැනීම යනාදී බලතල ද මෙම අධිකරණයට ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබු පනතක් සම්බන්ධයෙන් වුවත් අවුරුදු 10 කට පසුව හෝ මෙම අධිකරණය හමුවේ නැවත විභාග කිරීමේ හැකියාව පවතින බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැති වැඩමුළුවකදී වැඩිදුරටත් හෙළිදරව් විය.