FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැදුම්කර නිකුත් ගැන සොයන්න ජනපති කොමීසමක්…

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍පොරොන්දු වී ඇතැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය වෙත පැවසීය.

බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීමට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ‍පොරොන්දුව ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව මගින් පිටු හයකින් යුතු වාර්තාවක් පසුගියදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් එහි ඇතුළත් නිර්දේශ විමර්ශනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ‍පොරොන්දු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ආර්ථික විශේෂඥයකු ද ඇතුළත්ව මෙම කමිටුව පත් කළ යුතු බවට එම කමිටුව මගින් යෝජනා ඉදිරිපත් කළ බවත් ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේදී එම ජනාධිපති කොමිසම පත් කිරීමට ජනාධිපතිවරයා ‍පොරොන්දු වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

එළැඹෙන ජනවාරි මාසය තුළ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව මෙම කොමිසම පත් කිරීම සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.