හෙට (06දා) ආරම්භ වන අ.පො.ස. (සා/පෙළ) විභාගය දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5669කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත බවත් විභාග පරිපාලනය සඳහා 65,524 ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව එම දෙපාර්තුමේන්තුව කියයි..
දිනපතා විභාගය පෙ.ව.8.30ට ආරම්භ වන අතර පෙ.ව.8.00ට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානයට අනිවාර්යයෙන් පැමිණිය යුතුය.
එසේ පැමිණෙනවිට විභාග ප්‍රවේශපත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය කර තිබේ.
විභාග අපේක්ෂකයන් විභාග ශාලාව තුළ ජංගම දුරකථන ළඟ තබාගැනීම, සටහන් තබාගැනීම, පිළිතුරු ලබාදීම සඳහා උපකාර ලබාගැනීම, උපකාර ලබාදීම සහ පිළිතුරු කොපි කිරීම සපුරා තහනම් වන අතර, එවැන්නක් සිදු වූවහොත් ප්‍රතිඵල අවලංගු කිරීම සහ ඉදිරි විභාග සඳහා පෙනී සිටීම තහනම් කිරීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් වංචනිකව වෙනත් අයෙකු පෙනී සිටින්නේ නම්, විභාග ශාලාව තුළදීම ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවදඑම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය සම්බන්ධ පැමිණිලි සහ තොරතුරු සඳහා පහත සඳහන් දුරකථන අංකඇමතීමට කටයුතු කරන්න ලෙසද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය – 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව – 0112784208 / 0112784537 / 0113188350 / 0113140314
පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119