FAST NEWS

24×7 Around the Globe

ලාංකීය කාන්තාවන්ගේ බියර් අරක්කු භාවිතය ඉහළට.

මෙරට අවුරුදු 18ට වැඩි කාන්තාවන් අතර පසුගිය වසර 10ක කාලය තුළ බියර් හා අරක්කු භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

මෙම තත්ත්වය උගත්, මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් අතර, වාර්තා වීම බැරෑරුම් තත්ත්වයක් බවට පත්ව ඇති බව ආචාර්ය චාමර නිලන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

එසේම මෙරට හෙරොයින් භාවිතයට හුරුව සිටින කාන්තාවන් 500ක් පමණ වාර්තාවන බවත්, ඔවුන්ගෙන් බහුතරයක් ගණිකාවන් ලෙස හඳුනාගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරට මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් දේශපාලනය හා මත්ද්‍රව්‍ය අතර, පවතින සබඳතාව බිඳදැමිය යුතු බවත්, ඒ සඳහා මාර්තු 12 ප්‍රකාශය සමග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයද එක්ව කටයුතු කරන බවද සඳහන් කළේය.

ඒ සඳහා ඊයේ (02දා) එම මණ්ඩලයේ නිලධාරීන් දැනුම්වත් කර තම රාජකාරී බලප්‍රදේශය තුළ ඡන්දය සඳහා ඉදිරිපත්වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බව සඳහන් කළ සභාපතිවරයා පැවසුවේ පක්ෂ ලේකම්වරුන්ට මෙම තොරතුරු ගොනු විමසා බලා තම පක්ෂයේ අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙනී සිටින්නන්ද යන්න සොයා බැලීමට හැකි අයුරේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි.