FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් එරෙහිව පරික්ෂණයක්….

අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කිරීම සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර  ඇති බව වාර්තා වේ.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ 2010 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කර ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පැවසේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයට වෙන් කළ මුදල් නිසි අනුමැතියකින් හා ක්‍රමවේදයකින් තොරව විදේශ සංචාර සඳහා යෙදවීම, විදේශ අමාත්‍යාංශය විසින්  වියදම් නොකළ යුතු පුද්ගලයන්ට ගුවන් ටිකට්පත් ගැනීම, එයාර් බස් ගුවන් යානා නවතාගෙන සිටීමට මුදල් ගෙවීම සහ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු වරප්‍රසාදයන්ට අයත් නොවන කටයුතු සඳහා අමාත්‍යංශ මුදල් වැය කිරීම යනාදී චෝදනා රැසක් යටතේ මේ පරීක්ෂණ කෙරෙන බවද වැඩි දුරටත් වාර්තා වේ.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර පහ තුළ අමාත්‍යාංශයේ කළ සියලු මහා පරිමාණ වියදම් පිළිබඳ සවිස්තර තොරතුරු දින 10ක කාලයක් ඇතුළත දිය යුතු බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු අංශ ප්‍රධානීන්ට ඊයේ (24)  දිනයේම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.