FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරු 58ක් සඳහා කුලියට වාහන ගැනීම අත්හිටුවයි…

ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධය හමුවේ මන්ත්‍රීවරු 58ක් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ හතක පමණ කුලියට වාහන ලබාදීම සඳහා රජය ගෙන තිබූ තීරණය අත්හිටවු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ඊයේ (23දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරණ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙම වාහන කුලී දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබු අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම තීරණයට විරෝධය දැක්වීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය ගන්නා තෙක් අදාළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ වන විට ලබාදෙන රුපියල් ලක්ෂ දෙකක මාසික ප්‍රවාහන දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මන්ත්‍රීවරුන්ට ලැබෙන බදු නිදහස් බලපත්‍රයට අමතරව මෙසේ රුපියල් ලක්ෂ හතක පමණ වියදමකින් මාසික කුලියකට වාහන ලබාදිමට තීරණය කර තිබුණි.