FAST NEWS

24×7 Around the Globe

ඔක්තෝම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය ඉහළට…

 

2016 ඔක්තෝම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය 5.0%ක් ලෙස ගණනය කර ඇති ‍බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

2016 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 4.7%ක් වුන අතර 2015 සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී 2016 ඔක්තෝම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 2.3%කින්ද, ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 2.8%කින්ද පිළිවෙලින් වැඩි වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 ඔක්තෝම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 114.7 ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දර්ශකය සැප්තැම්බර් මාස‍යේ දර්ශකය (113.5) හා සංසන්දනය කළ විට 1.2ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.1ක වැඩිවීමක් වාර්තා වේ.

මෙම මාසික වෙනස් වීමට ආහාර කාණ්ඩයේ වියදම් වල වටිනාකම 0.79%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.22%කින් වැඩිවීම බලපා තිබේ.

2016 සැප්තැම්බර් මාසය හා සසඳන කළ 2016 ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම් වල වටිනාකම 0.79%ක වැඩිවීමක් දක්නට ඇති අතර මෙම වැඩිවීම සඳහා සහල්, පොල්, දෙහි, එළවළු, කරවල, පොල්තෙල්, අන්නාසි, කෙසෙල්, සීනි, මයිසූර් පරිප්පු, රතුළූණු, සුදුළූණු, තිරිඟු පිටි සහ කුකුල් මස් යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා තිබේ.

එසේ වුවත් පැපොල්, අඹ, අළුත් මාළු, බිත්තර, අමු මිරිස්, අර්තාපල් සහ ලොකුළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩු වීමක් වාර්තා වී නොමැත.

2016 සැප්තැම්බර් මාසය හා සසඳන කළ 2016 ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.22%ක වැඩිවීමක් දක්නට ඇති අතර මෙම ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය, විවිධ භාණ්ඩ හා සේවා සහ විනෝදාත්මක හා සංස්කෘතික යන කාණ්ඩවල වියදම් වල වටිනාකම වැඩි වීම බලපා තිබේ.

රෙදිපිළි හා පාවහන්, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු සහ ආපනශාලා හා හෝටල් යන කාණ්ඩවල පසුගිය සැප්තැම්බර් මාසය හා සසඳන කළ ඉතා සුළු වැඩිවීමක් ඇති වී තිබේ.

නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන සහ අධ්‍යාපන යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා 2016 ඔක්තෝම්බර් මස සිට දුම්කොළ නිෂ්පාදනවල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබේ.