FAST NEWS

24×7 Around the Globe

ඔබාමා අවසන් වරට පුටින් හමුවේ..

‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව’ හෙවත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගීවීමට ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටේ ලීමා නුවරට පැමිණි ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාට රුසියන් ජනාධිපති වැල්දිමීර් පුටින් හමුවිය.

රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකාට මුහුණ දුන්නේ ‘ඇපෙක්’ සමුළුව ආරම්භ වීමට සමුළුව පැවැත්වුණු ශාලාවට පිවිසෙද්දී යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබාමා සහ ව්ලැදිමීර් පුටින් අතරේ ‘නොහොඳ නෝක්කඩු’ ආරම්භ වූයේ රුසියාව යුක්රේනයේ ක්‍රිමියා පළාත අත්පත් කර ගැනීම සහ සිරියානු යුද්ධයට රුසියාව සම්බන්ධවීම යන කරුණු දෙක මුල්කර ගනිමිනි. පසුගිය වසරවලදී ඔබාමා සහ පුටින් ජාත්‍යන්තර සමුළුවලදී එකිනෙකා හමුවුණත්, මිත්‍රශීලීව කතාබහ කළේ නැත.

ඇපෙක් සමුළුව ආරම්භයේ දී අනපේක්ෂිත අයුරින් සිදුවුණු ඔබාමා සහ පුටින් අතර හමුව සහ කතාබහ විනාඩි 4 කට පමණක් සීමා විය. අවසානයේ දී, දෙදෙනාම ‘මුහුණු එල්ලා ගෙන’ අතට අත දුන් බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඔබාමා මේ වසරේ ජනපති ධුරයෙන් සමු ගැනීමට නියමිතය. එහෙයින්, ඇමෙරිකානු ජනාධිපති ලෙස ඔබාමා සහ පුටින් මුහුණට මුහුණ හමුවුණු අවසන් අවස්ථාව මෙය වනු ඇත.

(රොයිටර්)