FAST NEWS

24×7 Around the Globe

ජාතික ගෙවීම් වේදිකාවක්‌ පිළිබඳ අයවැය යෝජනාව තාවකාලිකව අත්හිටුවේ..

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් බලතල පෞද්ගලික අංශයට පැවරෙන බවට චෝදනා එල්ල වී ඇති ජාතික ගෙවීම් වේදිකාවක්‌ (National Payment Platform/ NPP) ඇති කිරීමේ අයවැය යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම අයවැය යෝජනාව පිළිබඳව තීරණයක්‌ ගැනීමේ වගකීම රජයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවකට පවරා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙම ඉහළ නිලධාරි කමිටුවෙන් තීරණයක්‌ ගන්නා තෙක්‌ එම අයවැය යෝජනාවේ සඳහන් ජාතික ගෙවීම් වේදිකාවට අදාළ කිසිවක්‌ සිදු නොවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ඒ නිසා දැනට තිබෙන ලංකා ක්‌ලියර් ආයතනයෙන් මේ කටයුතු සිදුකෙරෙන බවද නව ක්‍රමවේදයකට යන්නේ නම් එහි ආරක්‍ෂාව පිළිබඳ සහතික කර ගැනීම අත්‍යවශ්‍ය බවද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එම්. එස්‌. සමරතුංග, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය සහ චරිත රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් සමන්විතව පත් කර ඇති එම කමිටුව මේ ගැන තීරණයක්‌ ගෙන එම තීරණය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට්‌ අනුකමිටුව වෙත වාර්තා කිරීමට නියමිතය.

මෙසේ රජයේ කමිටු මගින් කවර තීරණයක්‌ ගත්තත් ගෙවීම් පියවීම් කටයුතු පිළිබඳ සම්පූර්ණ අධීක්‍ෂණ බලතල ඇත්තේ මහ බැංකුවට පමණක්‌ බවත් ඒ බව මුදල් නීතිපනතේ සහ ජාතික ගෙවීම් පියවීමේ පනතේ සඳහන් වන බවත් මහ බැංකු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර අයවැයේ සඳහන් මෙම ජාතික ගෙවීම් වේදිකාව නමැති ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ද ගොනු කර ඇත.