FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ IS ඉලක්ක වෙත රුසියාවෙන් ක්‍රෑස් මීසයිල ප්‍රහාරයක්..

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා අල්-නුස්රා පෙරමුණු ඉලක්ක කරමින් රුසියාව විසින් ක්‍රෑස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාවේ සිට ගුවන්ගත කෙරුණු බෝම්බ හා මිසයිල රැගෙන යන දැවැන්ත Tu-95MS යානා මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇති අතර, එම යානා උතුරු මුහුදු මාර්ගය හා නැගෙනහිර අත්ලාන්තික් කලාපය හරහා කිලෝමීටර් 11,000ක දුරක් ගෙවා සිරියාව වෙත පැමිණි බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත පහරදීමෙන් පසුව එම යානා යළි නිරුපද්‍රිතව සිය ගුවන් හමුදා කඳවුරු වෙත ළඟා වී ඇත.

මෙම මෙහෙයුමේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ප්‍රධාන අණදෙන කඳවුරක්, ගිනි අවි හා බෝම්බ ගබඩාවක් සහ අවිආයුද නිෂ්පාදන කම්හලක් ඉලක්ක වී ඇති අතර, බුද්ධි තොරතුරු රැසක් තහවුරු කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කළ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

රුසියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රුසියාව දැවැන්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව මෙම සතිය ආරම්භයේදී එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබුණි.