රජය ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සකස් කළ ණය, බදු හා දඩවලින් පිරි ජනතාව කබලෙන් ලිපට දැමූ එකක් බවත්, මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බවත්, එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද පැවසීය.
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
මේ ආණ්ඩුව අයවැයට කලින් වැට් බදු පනත ගෙනැල්ලා මීට පෙර නොතිබූ ක්‍ෂේත‍්‍ර ගණනාවක වැට් බද්ද එකතු කළා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බයිපාස් සැත්කම්වලට, ස්නායු රෝග සැත්කම්වලට රුපියල් ලක්‍ෂය, එක හමාර, මුදලක් වැඩිවුණා. එම්.ආර්.අයි. ස්කෑන් ඇතුළු පරීක්‍ෂණවල මිල ඉහළ ගියා. එසේ තිබියදී ආණ්ඩුව අයවැය ගෙනැල්ලත් කළේ ජනතාවට බදු පිට බදු ගහන එකයි.
රවී කරුණානායකගේ අයවැයෙන් කියනවා, 2017 වර්ෂයේ ආදායම රුපියල් කෝටි 204,900ක්ද වියදම රු.කෝටි 346,900ක්ද කියලා. අයවැය හිඟය රු. කෝටි 157,900ක් වෙනවා. ඒ අනුව අයවැය හිඟය පියවා ගැනීමට රු. කෝටි 157,900ක ණය මුදලක් ආණ්ඩුවට ලබාගන්න වෙනවා. මේ වනවිට ණය පොලිය රු. කෝටි 68,000ක් වෙනවා. ණය වාරිකය රු. කෝටි 80,000ක් වෙනවා. රාජපක්‍ෂ පාලනය වගේම මේ ආණ්ඩුවත් ණය මත දුවන පාලනයක්. වැට් පනත ගෙනැල්ලා ජනතාව මත බදු පැටෙව්වා වගේම මේ අයවැයෙනුත් ජනතාව මත බදු බර පටවලා. අලූතෙන්ම පනවන බදු ආදායමෙන් රු. කෝටි 39,000ක් හොයාගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. එම බදු ආදායමෙන් රු. කෝටි 23,200ක්ම භාණ්ඩ හා සේවා මත පනවන බදුයි. කෝටි දෙකක ජනතාවක් එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මත බදු බර පටවලා මේ ආදායම හොයන්න ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා.
මේ ආණ්ඩුවට කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න කෙටි කාලීන හෝ දිගු කාලීන වැඩපිළිවෙළක් නැහැ. රාජපක්‍ෂ පාලනය වගේම කෙටි කාලීණව ණය ලබාගැනීම පමණමයි උත්තරයක් හැටියට තියෙන්නේ. අයවැය හිඟය පියවා ගන්න මේ ආණ්ඩුවට තියෙන එකම උත්තරය ණය, බදු, දඩ පමණයි. එනිසා මේ අයවැය ණය, බදු දඩවලින් පිරුණු අයවැයක්. මේ අයවැයෙන් අලූතෙන්ම බදු වර්ග කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. ගුවන්තොටපොළ බද්ද ඉන් එකක්. අපේ රටේ ලක්‍ෂ 20ක් වන පිටරටවල රැකියාවල නිරත ජනතාව රටට ඇවිත් යනකොට ඔවුන්ගෙන් ඩොලර් 50ක ගුවන්තොටුපොළ බද්දක් අයකර ගන්නවා. එක ගමන් වාරයකට රු. 7500ක මුදලක් ගෙවන්න සිදුවෙනවා. ගුවන්තොටුපොළෙන් දිනකට ගුවන්ගත වන දහස් ගණනක් ජනතාවගෙන් ආණ්ඩුව රුපියල් 7500 ගණනේ අයකර ගන්නවා.
රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වන විදෙස්ගත රැකියාවල නිරතවූවන්ගෙන් පවා ආණ්ඩුව බදු අයකර ගන්නවා. එමෙන්ම සියලූම වාහන සඳහා කාබන් බද්ද ලෙස නව බද්දක් පනවා තිබෙනවා. දුම් පරීක්‍ෂාව සඳහා අයකරන මුදල සමඟ අලූතින් කාබන් බද්දක් පනවා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව පුදුම හිතෙන බදුත් හඳුන්වලා දී තිබෙනවා. රවී කරුණානායක කියනවා අපේ රටේ අධිකරණවල නඩු ගොඩගැහිලා තිබෙන නිසා සෑම නඩුවක් සඳහාම බද්දක් අයකරගන්නවා කියලා. ගුටි කාලා නඩුවක් දාන්න වෙන පුද්ගලයෙකුට ඉස්පිරිතාලෙත් ඉඳලා ආණ්ඩුවටත් බද්දක් ගෙවන්න සිද්ධ වෙලා. උසාවිවල නඩු වැඩිනම් කළ යුතුව තිබෙන්නේ එම කි‍්‍රයාවලිය කාර්්‍යක්‍ෂම කිරීමයි. විනිසුරුවරුන් වැඩිපුර උසාවිවලට පත්කරන එකයි. එසේ නොකර නඩුවලින් ගාස්තු අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එයින් සිදුවෙන්නේ තමන්ට යුක්තිය ඉටුකරගන්න බලාපොරොත්තු වන ජනතාව උසාවිවලට නොගිහින් නතර වෙන එකයි. තමන්ගේ කරාබුව හොරකම් කළාම, ඒක හොයා ගන්න ආණ්ඩුවට බද්දක් ගෙවන්න ජනතාවට සිද්ධ වෙනවා.
මේ ආණ්ඩුව නිතරම කතා කරන්නේ ඩිජිටල්කරණය ගැනයි. ෆී‍්‍ර වයිෆයි සෝන් ගැනයි. එහෙම කතාකරන ආණ්ඩුව අන්තර්ජාල ගාස්තුව 25%කින් වැඩි කරලා තිබෙනවා. අලූතින් සිම් කාඞ්පතක් කි‍්‍රයාත්මක කිරීමේදී රු. 200ක් අයකර ගැනීමට ආණ්ඩුව යෝජනා කර තිබෙනවා. සල්ලි නැති වෙලාවට ඒ.ටී.එම්. එකෙන් මුදලක් ගනිද්දී අයකරන ගාස්තුව රු.5කින් වැඩිකොට තිබෙනවා. මේ විදියට බදු ගහලා අයවැයෙන් රු. කෝටි 39,000ක මුදලක් එකතු කරගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ අයවැයෙන් අලූත් දඩ වර්ග කිහිපයකුත් යෝජනා කර තිබෙනවා. වාහන අනතුරකදී අයකරන දඩ ගාස්තු 2500 සිට ඉහළට වැඩිකොට තිබෙනවා. ඒ වගේම හදිසි අනතුරකදී රෝහල්ගත වුවහොත් ප‍්‍රතිකාර වියදම් ලෙස අදාල රක්‍ෂණ සමාගම 25,000ක් ගෙවිය යුතුයි කියලා යෝජනා කරනවා. එවිට වාර්ෂික රක්‍ෂණ ගාස්තුවට රෝහල් රක්‍ෂණාවරණයකට අදාළව අනිවාර්යයෙන් ජනතාව මුදල් ගෙවිය යුතු වෙනවා. මොකද, රක්‍ෂණාවරණය සඳහා එම මුදල අදාළ ආයතනය විසින් ජනතාවගෙන් අයකරගන්න නිසා.
සීනි රු. 2කින් අඩු කරලා අල ඇතුළු භාණ්ඩ කිහිපයක් රු. 5කින් 10කින් අඩු කරලා ජනතාවට සීනි බෝල පෙන්නලා මේ ආණ්ඩුව ජනතාව රවටන්න හදනවා. අනික් පැත්තෙන් විශාල බදු මුදලක් ජනතාවගෙන්ම අයකර ගන්නවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් ණය පොලී සහනය කප්පාදු කොට තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට තිබෙන විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න යෝජනා කොට තිබෙනවා. විශ‍්‍රාම වැටුප අහෝසි කොට 2017 වර්ෂයේ සිට දායක විශ‍්‍රාම වැටුපක් යෝජනා කර තිබෙන්නේ ඒ නිසයි. ලක්‍ෂ 70ක් වූ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී,එෆ් අරමුදල ඇපයට තබා නිවාස ණය ලබාගැනීමේ පහසුකම මුළුමනින්ම අත්හිටුවා තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ නිවසක් තනා ගැනීමේ අහිසංක ප‍්‍රාර්ථනාවට මරු පහරක් එල්ල කර තිබෙනවා. සමෘද්ධිලාභීන්ට හාල් කිලෝ 5ක් දෙනවා කියලා රවී කරුණානායක අයවැය කතාවේදී කිව්වට එහි වටිනාකම ලබාදෙන සමෘද්ධි මුදලින් කපා ගන්නවා කියලා හංගනවා. මේ විදිහට හංගලා ගහන අයවැයක් තමයි ගෙනැත් තිබෙන්නේ.
රජයේ රෝහල්වලින් ලබාදෙන සෞඛ්‍ය සේවාව කප්පාදු කරන යෝජනා මේ අයවැයෙන් ගෙනත් තිබෙනවා. රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇතිකරන්න ආණ්ඩුව යෝජනා කරනවා. අනුරාධපුර, කිලිනොච්චිය, හම්බන්තොට වගේ දිස්ති‍්‍රක්කවල රෝහල්වල ගෙවන වාට්ටු ඇති කරලා නිදහස් සෞඛ්‍ය සේවාව අහෝසි කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ. වැට් පනත ගෙනැල්ලා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වැට් බද්දක් පැනෙව්වා මදිවට මේ අයවැයෙන් සෞඛ්‍ය සේවය කප්පාදු කරන්න යෝජනා කරනවා. අයවැයෙන් යෝජනා කරපු අඩුකිරීම්වල මුළු එකතුව රු. 67යි. රු. 100ක ෆෝන් කාඞ් එකක් රීලෝඞ් කළාම ආණ්ඩුව ඒකෙන් රු. 50කට ආසන්න මුදලක් ආණ්ඩුව අයකර ගන්නවා. ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහනය අනෙක් පැත්තෙන් එක කොල් එකකින් අයකර ගන්නවා.
දුප්පතාගේ වාහනය වුණු තී‍්‍රවීල් එකට 2016 අයවැයෙනුත් බදු වැඩිකළා. මෙවර අයවැයෙන් ලීසිං පහසුකම කප්පාදු කොට තිබෙනවා. ලොරි, බස් සඳහා ලීසිං ගාස්තු 90%ක්ද වෑන්රථ සහ කාර් සඳහා 50%ක්ද වන අතර තී‍්‍රවීල් සඳහා ලබාදෙන්නේ 25%ක ලීසිං සහනයක් පමණයි. රනිල් වික‍්‍රමසිංහ මැතිවරණයේදී කථාකළේ බයිසිකල්වලින් යන අයට කාර් එකක් ගන්න ආර්ථිකේ හදනවා කියලයි. නමුත් ලීසිං ගාස්තුව 50%කට සීමා කරලා. බහුතරයක් වාහන ගන්න ජනතාව ලීසිං පහසුකම පාවිච්චි කරලා තමයි වාහනයක් ගන්නේ. ඒ පහසුකමත් මේ අයවැයෙන් සීමාකොට තිබෙනවා. මේ අයවැයෙන් පුංචි මිනිහට තිබුණු හැම වාසියක්ම කප්පාදු කොට තිබෙනවා.
මේ ආණ්ඩුවට ඇතිවෙලා තිබෙන ආර්ථික අර්බුදය පියමං කරන්න වැඩපිළිවෙළක් නැහැ. තවදුරටත් ආර්ථිකය අගාධයට යමින් තිබෙනවා. ඒකෙන් ගොඩ එන් ජනතාව මත බදු පටවනවා. ජනතාව ණය උගුලක හිර කරනවා. මේ අයවැය ආණ්ඩුව තනියම හදපු එකක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සේවා කප්පාදු කළා. පහුගිය වසරේ සෞඛ්‍ය සේවයට වෙන්කරපු බිලියන 174ක මුදල මේ වසරේ රු. බිලියන 160ය අඩු කරලා. අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය වසරේ රු. බිලියන 185ක් වෙන්කළ අතර මේ වසරේ 76.9ක් දක්වා 41%කින් කප්පාදු කොට තිබෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය වසරේ රු. බිලියන 171ක් වෙන්කළ අතර මේ වසරේ එය රු. බිලියන 163 දක්වා අඩුකොට තිබෙනවා. අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරලා ඒක වහගන්න උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්න යෝජනා කරනවා. සුරංගනා කථාවලින් ඇත්ත හරය වහන්න උත්සාහ කරනවා.
රවී කරුණානායක මුදල් ඇමතිවරයා අයි.එම්.එෆ්. එකට පොරොන්දු වෙනවා අයවැය හිඟය අඩුකරනවා කියලා. ඒකට අනුව තමයි අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ අයි.එම්.එෆ්. එකේ යෝජනාවලට අනුව පළමුවෙන්ම බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කරනවා කියලා. අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික උපදේශකයා. ඔහු මුදල් ඇමතිවරයා අනුව යමින් ආණ්ඩුව කරන්න හදන දේවල් කියලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය ආයතන ලාභ ලබන ආතයන බවට පත්කිරීමටත් උද්ධමනය ස්ථාවරව පවත්වාගෙන යාමටත් ආණ්ඩුව කටයුතු කරන බවටත් අර්ජුන මහේන්ද්‍රන් පුවත්පත් සාකච්ඡාවකදී හෙළි කරනවා. රාජ්‍ය ව්‍යවසාය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා කියලා මේ කරන්න යන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමයි. දැන් මේ සිදුකරමින් තිබෙන්නේ රවී කරුණානායකලා අර්ජුන් මහේන්ද්‍රන්ලා අයි.එම්.එෆ්. එකට පොරොන්දු වුණ දේවල්.
මේ අයවැය ලේඛනය අයි. එම්.එෆ්. එකේ කොන්දේසි මත හදපු ලියවිල්ලක්. රවීගේ ආර්ථික ලියවිලි අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දාලා තිබෙනවා. අපේ රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න මේ අයවැය ලේඛනයට පුළුවන් වෙලා නැහැ. ඒ නිසා මේ අයවැයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ අපි ඡුන්දය පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ගෙන යමින් තිබෙන කොල්ලකාරී ආර්ථික ක‍්‍රමවේදයට එරෙහිව ජනතාව පෙළගැස්සවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු…
අර්ජුන මහේන්ද්‍රන් තවමත් ආණ්ඩුවේ තනතුරක ඉන්නවා. අපි ආණ්ඩුවට කියන්නේ වහාම ඔහු තනතුරුවලින් ඉවත් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, පර්පචුවල් ටේරෂරීස් ආයතනය ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කළ යුතුයි. රනිල් වික‍්‍රමසිංහලා මේ ආයතනයට සෘජුව උදව් කරනවා පමණක් නොව අයවැය ලේඛන හරහා බැංකු ඒකාබද්ධ කරමින් වැඩි කොටස් අයිතිය පාවිච්චි කරලා පර්පචුවල් ආයතනයට ලාභ ලබාගන්න අවස්ථා හදලා දෙනවා.
මේ ආණ්ඩුවත් පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවත් අතර කිසිදු වෙනසක් නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුවේ අයවැයවල තිබුණේ ණය, බදු සහ දඩයි. මේ ආණ්ඩුවේ අයවැය ලේඛනවලත් තිබෙන්නේ ණය, දඩ සහ බදුයි. මේ ආණ්ඩුව ලබාගත්තු ණය ප‍්‍රමාණය පසුගිය ආණ්ඩුවට වඩා වැඩි බව ණය ප‍්‍රස්ථාරවලින් පේනවා. එහෙත් වැඩිපුර වේගයකින් ණය ලබාගත්තේ රාජපක්‍ෂ ආණ්ඩුවයි. එක්දාස් නවසිය පනස් ගණන්වල ඉඳලා 2005 දක්වා ලබාගත් මුළු ණය ප‍්‍රමාණය මෙන් හතර ගුණයක් ඒ කියන්නේ රු. කෝටි 850,000ක ණය මුදලක් 2005 සිට 2015 කාලය තුළ රාජපක්‍ෂ ආණ්ඩුව ණය ලබාගත්තා. ඒක වෙනස් කරන්න ආපු මේ ආණ්ඩුව පරණ පාරේම යමින් ණය ගන්නවා.
සෙස් අරමුදල් ඒකාබද්ධ අරමුදලට එකතු කරන්න මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම යෝජනාවට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් එල්ල වේවි. මීට පෙර නවීන් දිසානායක ඇමතිවරයා තේ සඳහා තිබූ සෙස් අරමුදල ඒකාබද්ධ අරමුදලට එක් කර ගැනීමට විරෝධය පළ කළා. ආණ්ඩුව කියන්නේ සෙස් අරමුදල් අවශ්‍ය වුවහොත් ආපහු ලබාදීමේ පදනම මත ඒකාබද්ධ අරමුදලට ලබා ගන්නවා කියලා. නමුත් ඇත්තටම ආණ්ඩුව කරන්න යන්නේ අයවැය හිඟය පියවා ගන්න ඒ මුදල් යොදා ගන්න එකයි. එයින් සිදුවෙන්නේ අදාළ ක්‍ෂේත‍්‍රවල දියුණුව සඳහා යොදා ගැනීමට තිබෙන මුදල් එම ක්‍ෂේත‍්‍රවලට අහිමි වීමයි.
මේ ආණ්ඩුව කීවේ පහුගිය ආණ්ඩුවේ හොරකම් නතර කළාම ණය ගන්න ඕනවෙන එකක් නැහැ කියලා. එහෙම කියපු ආණ්ඩුව මහබැංකු බැඳුම්කර ගනුදෙනුව රු. බිලියන ගාණක් රටට අහිමි කළා. කෘෂිකර්ම ගොඩනැගිල්ලට රු. කෝටි 211 ක් වැය කළා. ඇමතිවරුන්ට වාහන ගන්න රු. කෝටි 148ක් වෙන්කර ගත්තා. මේ ආණ්ඩුවේ වංචා-දූෂණත් පහුගිය ආණ්ඩුවේ වංචා-දූෂණත් නතර කළා නම් මේ විදියට ණය ගන්න ඕන වෙන එකක් නැහැ.
මහින්ද රාජපක්‍ෂ ඔවුන්ගේ ආණ්ඩුවෙන් කරපු හොරකම් බැරිකම් වහගන්න රවී කරුණානායකගේ බැරිකම පෙන්නනවා. ඔවුන්ගේ හොරකම් රවීගේ හොරකම්වලින් වහගන්න බැහැ කියලා කියන්න ඕනෑ. ඒ නිසා පහුගිය ආණ්ඩුවේ හොරුන්ට මේ රට ආපහු බාර දෙන්න අපේ රටේ ජනතාව කටයුතු නොකරන බව අපිට විශ්වාසයි.
මේ අවස්ථාවට ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික, පළාත් සභා මන්තී‍්‍ර වසන්ත සමරසිංහ ද සහභාගි විය.