FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට විදේශගතවිමේ තහනමක්..!

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිසිවකුට අනිද්දා (10) සිට මසක කාලයක් විදේශගතවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අනිද්දා (10) සිට අයවැය තුන්වැනි වර කියැවීමේ විවාදය පැවැත්වෙන දිනය දක්වා අදාළ නියෝගය බලපැවැත්වෙනු ඇති බව කියැවේ.

යම් ලෙසකින් කලින් යොදාගත් රාජකාරි සඳහා විදේශගතවීමට අවශ්‍ය නම් ඒ ගැන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම් දිය යුතු බවද පැවසේ.

ඊට අමතරව එජාප මැති ඇමැතිවරුන් එවැනි කලින් යොදාගත් රාජකාරියක් සඳහා විදේශගත වන්නේ නම් ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවසර ලබාගත යුතු බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් එවැනි රාජකාරි සඳහා විදේශගත වන්නේ නම් ඒ ගැන ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ‍ලේකම්වරයාට දැනුම් දිය යුතු බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය.

ඒ අනුව මෙම ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට අනිද්දා (10) සිට මසක කාලයක් පාර්ලිමේන්තු පැමිණීම ද අනිවාර්ය වී ඇති අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ සභාවේ සිටීම ද අනිවාර්යකර ඇතැයි වාර්තා වේ.