පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් (එෆ්.සී.අයි.ඩී.) රුපියල් කෝටි 10ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
සිය නැන්දම්මා වන කුණ්ඩසාලේ-පල්ලෙකැලේ මාන්නප්පෙරුම ලතා ඉන්ද්‍රානි මහත්මිය හරහා නීතිඥ නිමල් හිප්‍පොල මහතා මගින් මෙම අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබිය.
පදනමක් රහිත දූෂමාන තොරතුරු හා පිළිගත නොහැකි කරුණු මත පදනම්ව සැකසූ ‘බි’ වාර්තාවක් මගින් තමාට එරෙහිව අභූත චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 11 හා 13(1) වගන්තීන්ගෙන් සහතික කොට ඇති තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබ ඇතැයි පවසමින් මෙම වන්දි මුදල් ප්‍රමාණය ලබාදෙන ලෙස පෙත්සම්කාර වීරතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්. අමරතුංග මහතාත්, මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයේ 6 වැනි ඒකකයේ ස්ථානාධිපති නිහාල් ෆ්‍රැන්සිස් මහතාත්, වරාය අධිකාරියත්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇසළ වීරකෝන් මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මියත් ඇතුළු 8 දෙනකු පෙත්සමෙහි වගඋත්තරකරුවන් කොට ඇත.
රුසියානු තානාපතිවරයා වශයෙන් කටයුතු කළ තමා 2000-2006 කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකොට ඇතැයි පවසමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරිය හමුවේ ‘බි’ වාර්තාවක් ගොනු කර ඇති බවත්, පදනම් විරහිතව ඉදිරිපත් කොට ඇති එම වාර්තාව මගින් තමා බලවත් අපහාසයකට හා අපහසුතාවකට පත්කොට ඇති බවත් ඔහු සිය පෙත්සමෙන් පවසයි.
තවද එම අභූත චෝදනාව මත පදනම්ව තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද ලබාගෙන ඇති බව ද ඊට අමතරව තමාගේ පෞද්ගලික බඩු භාණ්ඩ අඩංගු ර්ඉඛිඑ-3324231 දරන බහාලුම වරායෙන් මුදාහැරීම අත්හිටුවා ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටී.
එකී කරුණුවලට අමතරව තම බැංකු ගිණුම්වල ගනුදෙනු අත්හිටුවීමේ නියෝගයක්ද තමාගේ පෞද්ගලික බඩු භාණ්ඩ වෙන්දේසියේ විකුණා දැමීමට නියෝගයක් ද ලබාගැනීමට වගඋත්තරකරුවන් ක්‍රියා කොට ඇති බව ද ඔහු කියා සිටී.
පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් සාවද්‍ය වාර්තාවක් මගින් ලබාගෙන ඇති ඉහත කී සියලුම නියෝග ක්‍රියාත්මක කිරීම අතිහිටුවන අතුරු නියෝගයක් ද තම බැංකු ගිණුම්වල ගනුදෙනු අත්හිටුවීමේ නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙස වීරතුංග මහතා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.