FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ චීන තානාපතිව විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ලියෑන්ලන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය විවේචනය කරමින් පසුගියදා සිදුකළ කතාව පිළිබඳ රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ඔහු විදේශ කටයුතු අමාතාංශයට කැඳවීමට එම අමාත්‍යාංශය සූදානමීන් සිටින බව වාර්තා වේ.

ඉන්දීය සංචාරයකට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් ලංකාවට පැමිණි පසු මෙම සතියේදී  චීන නාතාපතිවරයා කැඳවීමට නියමිත බව වාර්තා වේ.

චීන හා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් චීන තානාපතිකාර්යාලයේ පැවැති වැඩසටහනකදී ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් චීන තානාපතිවරයා රජය විවේචනය කරමින් කරුණු සඳහන් කළ අතර එහිදී ඔහු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද විවේචනය කළේය.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගත් ණය පිළිබඳ මෙන්ම චීනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ වැඩමුළුවේදී චීන තානාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇති බවට රජය කළ ප්‍රකාශ පිළිබඳ තමන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසූ බවත්, ශ්‍රී ලංකාවට 2% ක පොලියට පවා චීනයෙන් ණය ලබාදී ඇති බවත් චීන තානාපතිවරයා මෙහිදී පැවසීය.

චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇත්නම් නැවතත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ ඇයිදැයි යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේය.

චීන තානාපතිවරයා සඳහන් කළ කරුණු පිළිබඳ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මහනුවරදී විවේචනාත්මකව කරුණු සඳහන් කළේය.