FAST NEWS

24×7 Around the Globe

ණය පිරිවැය වැඩිනම් තවදුරටත් ණය ඉල්ලන්නේ ඇයි දැයි චීන තානාපති රවීගෙන් අසයි..

චීන රජයෙන් ලබා ගන්නා ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් මහතා විමසා සිටී.

පසුගිය දිනෙක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් චීනයේ ණය පිරිවැය ඉහළ බව පවසමින් කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස ප්‍රශ්න කර සිටියේය.

EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත් තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත් සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය