FAST NEWS

24×7 Around the Globe

මෙවර අය – වැය විවාදය සඳහා දින 25 ක්…

මෙවර අය – වැය විවාදය සඳහා සෙනසුරාදා දින පහක් ඇතුළුව දින 25ක් වෙන්කර තිබේ.

මුදල් ඇමැති රවි කරුණානායක මෙම මස 10 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී 2017 වසර සඳහා අය – වැය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

අය – වැය දෙවැනි වර කියැවීමේ විවාදය මෙම මස 11දා ආරම්භ කර, දින හයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම 18 වැනිදා පස්වරු 5.00ට ඡන්දය විමසීම සිදුකරනු ලබයි.

ස්ථාවර නියෝගවලට අනුව අය – වැය දෙවැනි වර කියැවීමේ විවාදය සඳහා දින හතක් වෙන් කෙරෙන නමුත් 2017 අය – වැය දෙවැනි වර විවාදය සඳහා වෙන්කර ඇත්තේ දින හයකි.

අය – වැය තුන්වැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 19 වැනිදා ඇරැඹේ.

කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා දින 18ක් වෙන්කර ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 10 වැනිදා විවාදය අවසන් කෙරෙනු ඇත.

කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් කෙරෙන දෙසැම්බර් 10 වැනිදා සවස 5.00ට අය – වැය තුන්වැනිවර කියැවීමේ විවාදයෙන් පසු ඡන්ද විමසීම සිදු කරනු ලබයි.