FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයාගේ කනිටු දියණිය ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වේ..

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ (02දා) සන්ධ්‍යාවෙහි ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් හි උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ් ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද, ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයෙන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබුණි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හොබවා ඇති ඇය මියයන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටි බවත්, දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා සමග බවත් සඳහන්ය. මිය යනවිට හතළිස් වැනි වියෙහි පසුවූ ඇගේ අන්තිම කැමැත්ත පරිදි අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී  සිදුකෙරන බවද පැවසෙයි.