FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොප් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයෙන් විශේෂ කමීටුවක්…

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් නීතිමය හා දේශපාලන වශයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී ඊයේ(31) රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම කමිටුව පත් කර ඇත.

එහිදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු කෝප් කමිටු වාර්තාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, ඩිලාන් පෙරේරා, ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න, ෆයිසර් මුස්තාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් ඇතුළු කෝප් කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව අදාළ කමිටුව පත්කර ඇත.

එම කමිටුවේ වාර්තාව මාසයක් ඇතුළත ලබාදෙන ලෙසද දැනුම් දී ඇති අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ලබාදී ඇති වාර්තාවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ද හිමිව තිබේ.

කෙසේ වෙතත් මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කර වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටද ඊයේ (31) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කර ඇත.

මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද සහභාගී වී තිබේ.