FAST NEWS

24×7 Around the Globe

වැඩි කළ වැට් බද්ද අද සිට ක්‍රියාත්මකයි…

 

2016 ඔක්තෝබර් 26 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සංශෝධන අද (01දා) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.

තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව මාස තුනකට පිරිවැටුම රු.මිලියන 12.5ක් හෝ වාර්ෂිකව රු.මිලියන 50කි. සෙසු භාණ්ඩ හා සේවා සඳහා වැට් ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රු.මිලියන 3ක් හෝ වසරකට රු.මිලියන 12කි.

දුම්වැටි, මත්පැන්, දුරකතන සන්නිවේදන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි වැට් බද්දට යටත් කර ඇත. එහෙත් වැට් බදු පැනවීමෙන් ආනයනික හෝ දේශීයව නැවුම් කිරිවලින් නිපදවන කිරිපිටි මිල වැඩිවීමක් සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය කියයි.

සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු (චැනල් සේවා ඇතුළත්ව), රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත. එහෙත් සැත්කම්, රෝග විනිශ්චය, වකුගඩු රෝගීන් සඳහා කාන්දු පෙරණ ඇතුළු අනෙකුත් බාහිර රෝගී සේවාවන්ට වැට් බද්ද බලනොපායි.

දැනට 2% ක්ව පවතින ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයෙහි, නව සංශෝධනයට අනුව කිසිදු වෙනසක් සිදු නොවේ. එහෙත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රු.මිලියන 3.75 සිට රු.මිලියන 3ක් දක්වා අඩුකර ඇත.

දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත.  ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිල ඉහළ යාමක් සිදුනොවන බවද මුදල් අමාත්‍යාංශය කියයි.