ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව නමැති පනත් කෙටුම්පතේ වගන්ති තිස් තුනක් (33 ක්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් විශේෂ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් එය සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තවද එම පනත් කෙටුම්පතේ තවත් වගන්ති දෙකකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන බව කථානායකවරයා ප්‍රකාශ කළේය.
එම වගන්ති සංශෝධනය කළහොත් ඒවායේ අනනුකූලතාවන් ඉවත් වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා කළ නිවේදනය මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. එම පනත් කෙටුම්පතෙහි,
(i) සභාවෙහි ඉංජිනේරු කාර්මිකයන් නම් කිරීම 3 (ආ) වගන්තිය යටතේ මගහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාවට අනනුකූල වන බවද?
(ii) 41 වගන්තියේ සඳහන් පරිදි ඉංජිනේරු වෘත්තියේ සියලු කාණ්ඩවල සාධාරණ නියෝජනයක් නම් කිරීමට අසමත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 12 (2) යන ව්‍යවස්ථාවලට අනනුකූල වන බවද:
(iii) 3 (ආ), 4 (1), 4 (2), 4(3), 4(4), 4(6), 5(1), 5 (2), 8(2), 8 (3), 8 (4) (අ), 8 (4) (ආ), 8 (5), 8(6), 11, 16(6), 20(1), 20 (3), 21 (1), 21(8), 29 30 (1), 30 (2), 31 (1), 31(2), 34 (1), 34(2), 38 (1), 38 (2), 38 (3) (අ) සහ 38 (4) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 43 (1) සහ 43 (3) යන ව්‍යවස්ථාවලට අනනුකූල වන බවද, එකී වගන්ති දැනට පවතින ආකාරයෙන්ම සම්මත කිරීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ විශේෂ බහුතර ඡන්දයකින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය වන බවද:
(iv) 9(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බවද: සහ
(v) මෙම පනත යටතේ ලියාපදිංචි වන විවිධ ඉංජිනේරු වෘත්තිකයන්ගේ කාර්යභාරය, වගකීම් හා ප්‍රවීණත්වය නිර්ණය කිරීමට අවශ්‍ය මාර්ග නිර්දේශ 39(2) (ඉ) වගන්තියේ, ඇතුළත් නොවන බවද එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
තවදුරටත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙන පරිදි එකී වගන්ති සංශෝධනය කළහොත් ඒවායේ අනනුකූලතාවයන් ඉවත්වනු ඇති බවයි.