FAST NEWS

24×7 Around the Globe

තඹුත්තේගම දුම්රිය ස්ථානයට ප්‍රහාරයක්…

 

බීමතින් පැමිණි පිරිසක් තඹුත්තේගම දුම්රිය ස්ථානයට අලාභ හානි කර එහි සිටි දුම්රිය ස්ථානාධිපතිවරයාට පහර දී තිබේ.

ඊයේ(16) පස්වරුවේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කළ මෙම පහර දීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වනවිට තඹුත්තේගම රෝහලට ඇතුලත් කර තිබෙන අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙම පිරිස ඊයේ(16) පස්වරුවේ සිට තඹුත්තේගම දුම්රිය වේදිකාවේ කොනක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී එහි සේවකයන් විසින් මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර අදාල පිරිස සේවකයන්ට බැණ වදිමින් ඉන් ඉවත් වී තිබේ.

පොලිසිය සඳහන් කර ඇත්තේ නැවතත් ඔවුන් දුම්රිය වේදිකාවට පැමිණ දුම්පානය කරමින් සිටියදී දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් යලිත්  ඉවත්වන ලෙස නියෝග කර ඇති බවයි.

එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර පසුව බිමත්ව සිටි පිරිසෙන් කිහිප දෙනෙකු පොලූ මුගුරු සහිතව පැමිණ දුම්රිය ස්ථානයේ වීදුරු වලට සහ දොරවල් කිහිපයකට අලාභ හානි සිදු කර තිබේ.

මෙම ගැටුමට දුම්රිය ස්ථානාධිපතිවරයා මැදිහත් වීමත් සමඟ ඔහුට ද මෙම පිරිස පහර දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පහර දීම අතරතුර තඹුත්තේගම දුම්රිය ස්ථානයේ සේවකයන් විසින් එක් සැකකරුවෙකු අල්ලාගෙන තඹුත්තේගම පොලිසියට භාර දි ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි   තරුණයෙකු වන බව සදහන්ය.