FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී මහින්ද රහසිගත සාකච්ඡාවක් – මහ රෑ තනිවම හමුවෙති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හදිසි හමුවක් ඊයේ (25) රාත්‍රී පැවැත්වුණා.

දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ කථානායක නිල නිවසේදී එම හමුව සිදු කෙරුණු බවයි.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් ඊට සහභාගි වී නැහැ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේදී ඊයේ රාත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සදහා සාදයක් සංවිධාන කර තිබුණා. රාත්‍රී 9 ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ තිඛෙනවා.
ඊට සහභාගි වී සිටි මන්ත්‍රීවරුන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ මහින්ද රාජපක්ෂමහතා රාත්‍රී 9.30 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළේ.

ඉන් අනතුරුව කථානායක නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් සාකච්ඡාවේදී අවධානයට යොමු කෙරුණු කරුණු සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

මේ සම්බන්ධයෙන් අප මෛත්‍රීපාල – මහින්ද සමගි සන්ධාන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගෙන් අද (26) උදෑසන විමසීමක් කළා.

ඔහු කියාසිටියේ එවැනි හමුවක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

කෙසේවෙතත් ඊයේ (25)උදෑසන තම කමිටුව හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියාසිටියා.