FAST NEWS

24×7 Around the Globe

FCID පැමිණි තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට…

 

බැසිල් රාජපක්ෂට අයිති නැතැයි කියූ මල්වානේ ඉඩම වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කිරීමෙන් පසු ඒ ගැන සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව බැසිල් රාජපක්ෂගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂගේ  ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට ස්වල්ප වේලාවකට පෙර පැමිණි අතර ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අද (17) මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම  සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඔහු කැඳවා තිබුණි.

මෙම ඉඩම බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් මහතා විසින්  මිලදීගත් බවට ඉඩම විකිණූ පාර්ශවය විසින් පවසා ඇති බව සදහන් වේ.

ඒ අනූව 2013 පෙබරවාරි මාසයේදී එම ඉඩමේ නිවසක් සෑදීම ආරම්භ වන අතර එය සුවිසල් නිවසක් ලෙස ඉදිකර ඇති අතර එහි වාස්තු විද්‍යාත්මක කටයුතු සිදු කර ඇත්තේ මුදිත ජයකොඩි නැමැත්තෙකු විසින් බව වාර්තා වේ.

කෙසේ වුවද 2015 ජනවාරි 08 පැවති මැතිවරණයෙන් පැවති රජය පරාජය වීමත් සමඟ තිරුකුමාර් නඩේසන් විසින් මෙම නිවස සහිත ඉඩම මුදිත ජයකොඩි වෙත පවරා ඇති බව සදහන් වේ.

එහෙත් නිවසේ අයිතිය මුදිත ජයකොඩි විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ඊට අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීමත් හේතුවෙන් එය වෙන්දේසි කර ලැබෙන මුදල් එම නඩු‍ව වෙනුවෙන් යෙදීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.