FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර රැළියට ක්‍රීඩාංගනයක් නෑ…

ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේ පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා රත්නපුර සීවලී ක්‍රීඩාංගනය ලබාදීම නොහැකි බව නාගරික කොමසාරිස්වරිය දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (05) බොරුල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ජනමාධ්‍ය හමුවකදී පැවසීය.

මේ හේතුවෙන් 8 වනදා පැවැත්වීමට නියමිත ” අරගලයට පණ පොවන නව ජනතා බලවේගය” නම් රැළිය රත්නපුර නගරයේදී පවත්වන බවද ඇය පැවසීය.

නගරය තුළ විශාල ක්‍රිඩා පිටියක් තිබියදී රැළිය සඳහා එම ක්‍රිඩාංගනය ලබා නොදීම සම්බන්ධයෙන් කනගාටුවන බවද ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්, මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්, කලාකරුවන්, වෘත්තීයවේදීන් සහභාගි වන බවද ඇය සඳහන් කළාය.

එසේම ලංකාවේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය කරමින් මෙම රැළිය සඳහා ජනතාව සහභාගී වන බවත් ඇය වැඩි දුරටත් පවසා සිටියාය.