විශ්‍රාමීක රාජ්‍ය සේවකයන් 330,000කගේ වැටුප් සංශෝධනයක්.

විශ්‍රාමීක රාජ්‍ය සේවකයන් 330,000කගේ වැටුප් සංශෝධනයක්.

2006 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් 330,000කගේ වැටුප් සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව, 2006 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපද 6/2006 වැටුප් ව්‍යුහයට සමගමීව සංශෝධනය කෙරෙනු ඇති අතර, ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත්වනු ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“නව රජය එදා වරම ලබාගත්තේ, මේ රටේ සමාජ අසාධාරණයක් වූයේ නම්, එය සාධාරණයට පත් කරන්නයි. ඒ අනුව, 2006 ට ප්‍රථම විශ්‍රාම ගිය රජයේ සේවකයන් වැඩි පිරිසකට තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගන්නා විට, ඊට පසුව විශ්‍රාම වැටුප් ලැබූ අයගේ වැටුප සමග විෂමතාවක් පැවතියා. එය සමාජ අසාධාරණයක් වශයෙන් අප දුටුවා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්, මුදල් අමාත්‍යවරයාත් සමග සාකච්ඡා කොට මේ විෂමතා දුරලීමට අප කටයුතු කළා.

මේ සඳහා රජය අති විශාල මුදල් සම්භාරයක් දරනවා. නමුත්, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පඩි වැඩි කිරීම සිදුවූයේ මේ දින 100 වැඩසටහන යටතේයි. ඒ වගේම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10කට පොරොන්දු වී 13ක බදු අඩු කළේ මේ දින සියයේ රජය තුළයි. එහිදී, අපට කොයිතරම් දෝෂාරෝපණය කළත්, විශ්වාසභංග ගෙනෙන්න හැදුවත් මේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ සහන අමතක නැහැ.

මෙම නව ක්‍රමය තුළ 2006 ට පෙර විශ්‍රාම ලැබූ අයගේ විශ්‍රාම වැටුපද, 2006 ට පසුව විශ්‍රාම ලැබූ අයගේ වැටුපට සසඳමින් විෂමතා දුරලනවා. ඒ අනුව, සම්පූර්ණයෙන්ම 330,000ක් විශ්‍රාමිකයන්ට ලොකු වෙනසක්, සෙතක් ඇති වෙනවා. මේ විශ්‍රාමික පිරිස අතර අවුරුදු 90 ට වැඩි 28,000ක් සිටිනවා. ඒ වගේම, අවුරුදු 85 – 90ත් අතර 42,000ක් සිටිනවා. අවුරුදු 80 – 85ත් අතර 53,000ක් සිටිනවා. අවුරුදු 70 – 80ත් අතර 125,000ක් සිටිනවා. අවුරුදු 65 – 70ත් අතර 82,000ක් සිටිනවා.

මෙ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ අගමැති, මුදල් අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. මගේ අමාත්‍යාංශ ලේකම්වරය, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළා. කැබිනට් අනුමැතිය ඇතිව මෙ රටේ ජනතාවට ඉතාම සන්තෝෂයෙන් කියනවා අපි තවත් පොරොන්දුවක් ඉටු කරනවා.

ඒ අනුව, අප තවත් පොරොන්දුවක් ඉටු කළ බව මේ රටේ ජනතාවට ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම, මේ සම්බන්ධ චක්‍රලේඛය ඉතා ඉක්මණින් නිකුත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.