FAST NEWS

24×7 Around the Globe

පුංචි ඡන්දය ඉල්ලා පළාත් සභා මන්ත්‍රීවරු මාරාන්තික උපවාසයකට සැරසෙයි..

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසදය සූදානමින් සිටින බව බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි මහතා අද (03දා) බත්තරමුල්ල ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මැතිවරණය ඉතා කෙටි කලකින් පැවැත්විය යුතු බවත්, එසේ නොවුවහොත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත් කී ජයමිණි මහතා එම සටන ජයග්‍රහණයකින් කෙළවර කරගන්නා බවද සඳහන් කළේය.

ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමූපකාර මැතිවරණ තුනක් පරාද වී සිටින බැවින් ඉදිරි මැතිවරණ කඩාකප්පල් කිරීමේ සූදානමක් ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.