ජාතික වශයෙන් නොබෙදී සිට සියලුදෙනාම එකතු වී ජනතාවට වින කරන්න සූදානම් වන, මේ රට කෑලිවලට කඩන්න සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රෝඩාව පරාජය කිරීමට සූදානම් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අම්පාර කෙත්සිරිගමදී පැවසීය.
පෙරේදා (26දා) කෙත්සිරිගම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ බෝධි ප්‍රාකාරය හා රන්වැට සහිත වාහල්කඩ විවෘත කිරීමේ පින්කම් උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පින්කමට සහභාගි වීමට අවස්ථාවක් ලැබීම තමන් සලකන්නේ විශේෂ දවසක් හැටියට බවත්, එහි විශේෂත්වය වන්නේ මෙදින බණ්ඩාරනායක අගමැතිතුමා සිහි කරන දිනය නිසා බවත් කියා සිටියේය.
අද හොරගොල්ලේදී ඒ උත්සවය පැවැත්වුණා. ඒ උත්සවය අද වෙනකොට නිලධාරීන්ට හා ඉහළ පෙළේ අයට සීමා වෙච්ච උත්සවයක් බවට පත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ උත්සවය දිහා බැලුවාම බණ්ඩාරනායක මහත්මයා එදා ඩී.ඒ. රාජපක්‍ෂ මහත්වරු එක්කලා මේ පක්‍ෂය හදන අවස්ථාවේ හාමුදුරුවනේ… බලාපොරොත්තු වෙච්ච දේ එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව එදා ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිව ගොඩනැඟූ දේශපාලන පක්‍ෂයට අද ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපිට සන්තෝෂ වෙන්න පුළුවන්කමක් නෑ.
අපි එදා අටවැනිදා පරාජය වුණා. ඊළඟට ඇවිල්ලා ඉල්ලුවාම මේකේ සභාපතිකම දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට පහර ගහනවා. ඒ නිසා ඒක ආරක්‍ෂා කරන්න මට දුන්නොත් මට පුළුවන්. එහෙම නැතිනම් මට කරන්න දෙයක් නැහැ කියල එදා ඇවිත් අපිට කිව්වේ. එදා වෙනම දේශපාලන පක්‍ෂයක් හදන්න හැදුවා. තවත් ශ්‍රී ලංකා එකක්. ඒකේ සභාපතිවරු ලේකම්වරු, භාණ්ඩාගාරිකලා පත්වුණා. මේ තත්ත්වය දැකලා අපි අඩියක් පස්සට අරගෙන අපි ඈත්වුණා. ගිහිල්ලා ගෙදරට වෙලා හිටියා.
මේ නිසා අද විපක්‍ෂ නියෝජනය කරන්නේ කවුද කියන එක පිළිබඳව බොහොම පැහැදිලිවම තමුන්නාන්සේලා තීන්දුවක් ගන්න වෙනවා.
අද එක පැත්තකින් අපි මේ මහා ත්‍රස්තවාදය නැති කළා. මේක අපි නැති කළේ මේ නිදහස ලැබුණේ සිංහල ජනතාවට විතරක්ද? නෑ. දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් මේ නිදහස ලැබුණා. මේ නිදහසට දැන් මොකද වෙන්න යන්නේ. මේ නිදහස අපි ලබාදීලා සිංහල, දෙමළ ජනතාව ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන උතුරෙන් පන්නා දමපු මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කරවලා දෙමළ ජනතාව නැවැත පදිංචි කරලා තියෙනවා. බිම්බෝම්බ අයින් කරලා පාරවල් හදලා, රෝහල් හදලා, ඉස්කෝල ටික හදලා උතුර නැඟෙනහිර අපි දියුණු කළා. අද නැවැත මේ නැඟෙනහිරට අත්විඳින්න වෙලා තියෙන්නේ මොකක්ද?
දැන් නැඟෙනහිර ජනතාව උතුරයි, නැඟෙනහිරයි කියන ප්‍රදේශ දෙක පළාත් සභා දෙක එක්කාසු කිරීමේ වැඩපිළිවෙළක ආණ්ඩුව නිරත වෙන්න හදනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා. ව්‍යවස්ථාව ඇතුළේ තියෙනවා මේක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කියලා සීනි බෝලය දාලා සීනි ටික තවරලා අපිට වස කුප්පිය දෙනවා. වස ගුළියක්. ඉතින් අපිට දැන් පරිස්සම් වෙන්න වෙලා තියෙනවා. මොකද මේ නැඟෙනහිර – උතුරට එක්කාසු වුණොත් මොකද වෙන්නේ? ඕවා පාලනය කරන්නේ කිලිනොච්චියෙන්. අද මේ පළාත් සභා මන්ත්‍රිවරු ඉන්නවා. එයාලට පළාත් සභාවට යන්න වෙන්නේ කිලිනොච්චියට හරි යාපනේට හරි. උතුර – නැඟෙනහිර එක්කාසු කරන්නට වෙන් වෙලා තියෙන පළාත් සභා ක්‍රමයක් ඇති කරන්න මෙයාලට ඕනෑකම තියෙනවා. ඇයි මේ නැතිවී යන ආධිපත්‍ය නැවැත ලබාගන්න. එතැනින් නවතින්නේ නෑ. හාමුදුරුවනේ අර හර්තාලය ගැන මතක් කළා. දෙමළ ජනතාවත් මේ හර්තාලයට විරුද්ධයි.
මේක දකුණේ මහ ඇමැතිවරයෙක් කීවා නම් මන්ත්‍රිවරයෙක් කීවා නම් එයාලා අද සී.අයි.ඩී.එක ඇවිල්ලා උස්සාගෙන යනවා ජාතිවාදය අවුස්සනවා කියලා. දැන් මේ මහ ඇමැතිවරයාට කිසිම දඬුවමක් නෑ. මම පුදුම වුණේ මෙතුමා නඩුකාරයෙක් හාමුදුරුවනේ. සුප්‍රිම් උසාවියේ හිටපු නඩුකාරයෙක්. එතුමා මේ කියන විදියට කළොත් එතුමාගේ දරුවෝ දෙන්න කසාද බැඳල තියෙන්නේ සිංහල ගෑනු ළමයි දෙන්නෙක්. අපේ මන්ත්‍රිතුමකුගේ පුතෙක් එක්කෙනෙක් බැඳලා ඉන්නේ. මේ කට්ටිය පන්නලා දාන්නද කියන්නේ. දැන් මේවගේ පටු මට්ටමට වැටෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. දැන් අපි ඒ අයට කියනවා මේවා ඉල්ලා අස්කරගන්න කියලා.
අපියි මේ යුද්ධය කළේ. මේ සටන කළේ ත්‍රස්තවාදයට විරුද්ධවයි. අමතක කරන්න එපා දෙමළ ජනතාවට විරුද්ධව නොවෙයි අපි මේ සටන කළේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ආරක්‍ෂා කරන්නටයි, රට දෙකට කැඩීම නතර කරන්නටයි අපි යුද්ධය කළේ.
මේ රට ඒකීය රටක් බවට පත්කරන්නයි අපිට ඕන වුණේ. මේක කුඩා රටක්. මේක මේ ඉන්දියාව නෙවෙයි. මේක ඇමෙරිකාව නෙවෙයි. යාපනේ ඉඳලා හම්බන්තොටට එන්න දැන් පැය හය හතකින් ඇහැකියි. සමහර විටක විනාඩි පහකදී දිස්ත්‍රික්කය මාරු වෙනවා. ඉතින් මේවා පිළිබඳව හිතන්න ඕනෑ.
අද එක්සත් ජාතික පක්‍ෂය ඉන්නවා ආණ්ඩුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ඉන්නවා ආණ්ඩුවේ. අපිත් හිටියා නම් ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වාඩිවෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා ආණ්ඩුවේ, දෙමළ සන්ධානයත් ඉන්නවා ආණ්ඩුවේ. කවුද අද විපක්‍ෂයේ? පනස් අටලක්‍ෂයක් නියෝජනය කරන්නේ කවුද? අපිට තියෙනවා පනස් අටලක්‍ෂයක් නියෝජනය කිරීමේ අයිතිය. ඒ අයිතියට තමයි අපි සියලුදෙනා එකතු වී සිටින්නේ. අපි ඒ ගැන බොහෝම පැහැදිලිව කියන්න ඕනෑ.
මේක තමයි අද තියෙන තත්ත්වය. ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියනවා අද මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා මේ ජනතාව පීඩනයට පත්කරන ආණ්ඩුවට විරුද්ධව තද පියවරක් ගන්න. අපිට ඒකට අයිතියක් තියෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා දිවුරුම් දුන්නා හාමුදුරුවනේ සෝභිත හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයේදී. ඒක කළාද? අපිත් ඒකට දෙන්නම් සහයෝගය. ඒකට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ නෑ. ඒකට සංශෝධනයක් ගේන්න. විසි දෙවැනි සංශෝධනය ගෙනැල්ලා මේක ඉවරයක් කරන්න. නැතිනම් ව්‍යවස්ථාව මුවාවෙන් රට බෙදනවා නම් කෑලිවලට කඩනවා නම් මෙතෙක් කල් බුදු දහමට තිබුණු අයිතිය උදුරා ගන්නවා නම් අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිවම තමුන්නාන්සේලාට මතක් කරනවා.
මෙතැනදි අපිට තියෙන්නේ ජාතික වශයෙන් බෙදෙන්න නෙවෙයි. සියලුදෙනා එකතු වෙලා මේ ජනතාවට වින කරන්න සූදානම් වන, මේ රට කෑලිවලට කඩන්න සූදානම් වන ආණ්ඩුවෙ ව්‍යවස්ථා ප්‍රෙඩාව අපි පරාජය කිරීමට සූදානම් වෙන්න කියන ඉල්ලීම කරමින් අපිත් එක්ක රැස්වෙලා ඉඳීම ගැන මම තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා.