FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ වැට් බදු ප්‍රතිපත්තිය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්..

වත්මන් ආණ්ඩුවේ වැට් බදු ප්‍රතිපත්තිය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරක් බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වැට් බදු වැඩිකිරීමෙන් ජනයා පීඩාවට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ‍විසින් මේ බැව් පෙන්වාදී තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය මෙපරිදිය.

වර්තමානයේ අය කරන වැට් බදු ප්‍රතිශතය 36% න් ඉහළ දැමීමට පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත. ඒ අනුව භාණ්ඩ හා සේවා මත වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ ගොස් ජනතාව පීඩනයට පත්වෙනු ඇත. කිසිදාක වැට් බද්දට යටත් නොවුණු පුද්ගලික වෛද්‍ය  සේවාවන් වලටද මේ වැඩි වූ වැට් බද්ද බලපානු ලැබේ. මේ නිසා පුද්ගලික වෛද්‍ය වියදම් එකවරම 15%කින් වැඩිවෙනු ඇත. උදාහණයක් වශයෙන් හදවත් රෝගීන්ගේ බයිපාස් සැත්කමක් අද රුපියල් 700,000 වෙන අතර අනාගතයේදී එය රුපියල් 800,00 ටත් වඩා වැඩිවෙනු ඇත. අද බොහෝ සාමාන්‍ය ජනතාවද පුද්ගලික වෛද්‍ය සේවාවන් ලබා ගනී. මේ බද්දෙන් කරන්නේ මිනිස්සුන්ගේ ලෙඩ රෝග, දුක් කම්කටොළු තුළින් ආදායම් ඉපයීමට උත්සාහ දැරීමයි. රෝගයේ බරපතළකම වැඩිවෙන තරමට ආණ්ඩුවට අසරණ රෝගීන්ගෙන් වැඩි වැඩියෙන් මුදල් ලබාගැනීමට හැකිවෙනු ඇත.

වැඩිකරන ලද වැට් බද්ද කුඩා හා මධ්‍ය පරිමාණ තොග හා සිල්ලර වෙළඳාම මතද අයකිරීමට නියමිතය. මගේ ආණ්ඩුව කාලයේ වැට් බද්ද ක්‍රියාත්මක වුණේ දිනකට ලක්ෂ 28ක පමණ මහා පරිමාණයෙන් වෙළදාම් කරන සුපිරි වෙළදසැල් වලට පමණි. නමුත් එම සීමාව දිනකට රුපියල් 138,000 දක්වාපහත හෙළූ විට, තොග කඩ සියල්ලමත්, සිල්ලර කඩ සෑහෙන්න ප්‍රමාණයකුත්  වැට් බද්දට යටත් වේ.මෙයින් මුළු රට පුරාම භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යන අතර, වැඩි කල් නොගොස්, එහි අතුරුඵලයක් හැටියට පාරිභෝගික ඉල්ලුමත් අඩුවෙනු ඇත. මීට කලින් පැවති කිසිම ආණ්ඩුවක්  සාමාන්‍ය  මට්ටමේ තොග හා සිල්ලර වෙළදාම මත වැට් බද්ද පැණවූයේ නැත්තෙ එයින් ආර්ථිකය තුළ ඇතිවෙන අනිටු විපාක නිසාමය.  

ලෝකයේ හැම තැනම භාණ්ඩ මිල අඩු වෙමින් පැවතුනත්, මේ වැට් බද්ද නිසා ලංකාවේ පමණක් භාණ්ඩ මිල වැඩි වෙනු ඇත. මේ ආකාරයට බදු වැඩිකිරීමට ආණ්ඩුවට සිදුවී ඇත්තේ, පසුගිය ඡන්ද දිනාගැනීමට ජනතාවට දුන් නොයෙක් රැවටිලිකාර සහන වලට මුදල් සොයා ගැනීමටය. මෙය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරකි. වැට් බදු ප්‍රතිශතය වැඩිකිරීමටත්, රෝගීන් හා වියපත් අයගෙන් වැට් බදු අය කිරීමටත්, බඩු මිල ඉහළ යන බව දැන දැනත් සාමාන්‍ය තොග හා සිල්ලර වෙළදාම මත වැට් බදු අය කිරීමටත් අපට කිසිසේත්ම එකඟ විය නොහැක. මේ පීඩාකාරී බදු වැඩිකිරීමේ යෝජනා නැවතත් සලකා බැලීමට ආණ්ඩුවට තවමත් කල් ඇත.