යෝජිත නව රේගු පනතට විරෝධය දක්වමින් රට පුරා රේගු නිළධාරීන් අද (19 දා) සිට අකුරට වැඩ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ගුවන් තොටුපළ, වරාය සහ රට පුරා ඇති බන්ධිත ගුදම්වල ද ආනයන අපනයන අංශවල ද සේවා කටයුතු ප්රමාද වන අතර ගුවන් ගමන්වල ද ප්රමාදයක් සිදුවනු ඇතැයි ශ්රී ලංකා නිදහස් රජයේ රේගු වෘත්තීය සමිති සංගමයේ ප්රධාන ලේකම් ඩබ්. එම්. ආර්. පී. විඡේකෝන් මහතා පැවසීය.
රේගු මාණ්ඩලික නිලධාරී සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය, නිදහස් රජයේ රේගු වෘත්තීය සමිතිය, රේගු පරීක්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා රේගු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති අටක් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයට එක්වන බව ද විඡේකෝන් මහතා කීය.
මුදල් ඇමැති රවි කරුණානායක මහතා කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නැතැයි ද නව රේගු පනත් කෙටුම්පත පිළිබඳ විධිමත් සාකච්ඡාවක් ලබාදෙනතුරු ඇමැතිවරයා සමඟ කිසිදු සාකච්ඡාවකට එක් නොවන බව ද ප්රකාශ කළ විඡේකෝන් මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ද රේගු නිලධාරීන් නොමඟ යවමින් ඇමැතිවරයා සමඟ එක්ව නව පනත ගෙන ඒමට වක්රාකාරව කටයුතු කරන බව ද හෙතෙම ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව රජයේ ස්ථාවරය බලාපොරොත්තු වන බව ද තමන්ට විසඳුමක් ලැබෙනතුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ද විඡේකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.