ශ්රී ලංකා වරාය අධිකාරිය මගින් ඉදි කරනු ලැබූ දකුණු කොළඹ වරාය ව්‍යාපෘතිියට අයත් නැගෙනහිර පර්යන්තය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් වන සාධකද සහිතව එම සංගමය පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව විසින් මෙම කාර්යය කිරීමට සූදානමින් සිටින බව ය.
සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලුම වගකිවයුතු පාර්ශවයන්ගෙන් මේ සඳහා ඉල්ලීම් කර ඇතත් ඒ සඳහා ප්‍රතිචාර මන්දගාමී වන බැව් එම සංගමය අවධාරණය කරයි.
එම සංගමය මෙම සිදුවීමේ බරපතලකම මෙසේ පෙන්වා දෙයි.
“නාවික ගමනාගමනයේදී ශ‍්‍රි ලංකාව වැදගත් වන්නේ ප‍්‍රධාන නාවික ගමනාගමන මාර්ගය ආසන්නයේ පිහිටා තිබීමයි. වර්තමානයේ නැව් නියෝජිත ආයතන ඒකාබද්ධ වෙමින් බහාළුම් දස දහසකට වඩා රැගෙන යා හැකි ගැඹුරින් හා දිගින් වැඩි විශාල නෞකා හඳුන්වා දෙමින් සිටින අතර කුඩා නෞකා භාවිතයෙන් ඉවත් කරමින් සිටී.
මෙසේ හඳුන්වා දෙන විශාල නෞකා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහාළු පර්යන්තයේ මෙහෙයුම් කට යුතු කළ නොහැකි අතර එම විශාල නෞකා මෙහෙයුම් කටයුතු කළ හැක්කේ දකුණු කොළඹ වරායේ බහළු පර්යන්තවල ය. දකුණු කොළඹ වරාය තුළ ඇති ප‍්‍රධාන බහාළු පර්යන්ත දෙකෙන් එකක් පසුගිය රජය චීන සමාගමකට විකුණා දමන ලද අතර අනෙක් පර්යන්තය වන්නේ වර්තමාන ආණ්ඩුව විකුණා දැමීම සූදානම් වන විශාල නෞකා මෙහෙයුම් කටයුතු කළ හැකි නැගෙනහිර පර්යන්තය යි.
නැගෙනහිර පර්යන්තය මේ වන විට ඉදි කර අවසන් කර ඇති අතර එය ක‍්‍රියාත්මක කිරීමට යන්ත‍්‍ර සූත‍්‍ර ගෙනවිත් සවි කිරීම පමණක් ඉතිරිව තිබෙන අතර එය ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට කළ හැකි කටයුත්තකි.
වාර්ෂිකව මහ භාණ්ඩාගාරයට විශාල ලෙස මුදල් ලබා දුන් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් වන ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය රැකගැනීම වරායේ වෘත්තීය සමිති සේවකයින් හා රටේ සියලුම පුරවැසියන්ගේ වගකීමකි.”
ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය මගින් යන්ත‍්‍ර සූත‍්‍ර මිල දීගෙන ක‍්‍රියාත්මක කළ හැකි නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට එරෙහිව ශ‍්‍රී ලාංකික සියලු පුරවැසියන් දැනුවත් කිරීමට සිය සංග්මය ක්‍රියා කරන බැව් එම සංගමය අවධාරණය කරයි.








