FAST NEWS

24×7 Around the Globe

ඩයස්පෝරාව සමඟ එක්ව කටයුතු කරන්න – මංගල

 

ඩයස්පෝරාව සමඟ එක්ව කටයුතු කරන ලෙස මෙරට නියෝජනය කරන විදෙස් රාජතාන්ත්‍රිකයන්ගෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉල්ලා සිටී.

මෙහිදී ජාති, ආගම්, සංස්කෘතික වෙනස්කම්වලින් තොරව කටයුතු කළ යුතු යැයි ද ඒ මහතා පැවැසීය. විදේශ ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැති මෙරට නියෝජනය කරන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

මංගල සමරවීර මහතා – ඩයස්පෝරාව කොන්කිරීමේ ප්‍රතිපත්තියෙන් අප බැහැර විය යුතුයි. මේක සංහිඳියාවේ එක් ක්‍රියාමාර්ගයක්. අපේ රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට මෙම ඩයස්පෝරාව යොදාගත හැකියි. විදේශවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව අපේ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සම්බන්ධතා ගොඩනඟා ගත යුතුයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තබා තිබෙනවා.

උතුරු, නැ‍ඟෙනහිර ගොඩනැඟීම සම්පූර්ණයෙන් සිදුවෙලා නැහැ. භෞතික සම්පත්වලින් පමණක් සමෘද්ධිය හා සංහිඳියාව ඇති කිරීමට නොහැකි බව මෙවර ජනපතිවරණයේදී ජනතාව පෙන්වා දුන්නා. යුද්ධයෙන් පසු පශ්චාත් යුද සමයේ සංහිඳියාව සම්බන්ධයෙන් අප කටයුතු කරන්න ඕනෙ. ඒ සඳහා දේශිය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

අන්තර්ජාතික සම්බන්ධතා ද මේ සඳහා යොදාගත යුතුයි. අප ඒ සඳහා කටයුතු කරගෙන යනවා. මේ පිළිබඳ පියවරෙන් පියවර අප ඔබලාව දැනුවත් කරනවා. මේක තමයි අපේ කැපවීම.