FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංගට හා බිරිඳට ගුවන් ගමන් බලපත්‍ර දුන් සැටි නාවින්න කියයි..

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි උදයංග වීරතුංග මහතාට හා ඔහුගේ බිරිඳට ලබාදී තිබූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් මේ වසර මුලදී ලබා දුන් බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන ඇමැති එස්.බි. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රය ඔහුට සහ බිරිඳට නිකුත් කරද්දී ඔහු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණේ නැතැයිද ඇමැතිවරයා කීවේය.

ඒ වන විට අධිකරණ නියෝගයක් ලැබි තිබුණා නම් ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව තිබුණේ යැයිද ඔහු පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී උදයංග වීරතුංග මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

උදයංග වීරතුංගට විරුද්ධව චෝදනා කිහිපයක් තිබෙන අතර යුක්රේන රජය ඔහුට චෝදනා කර තිබෙන බවද කී මන්ත්‍රීවරයා රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ මරණය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවන බවද ඒ මහතා සඳහන් කළේය.

එවන් බරපතළ චෝදනා එල්ල වී ඇති අයෙකුට සාමාන්‍ය ගමන් බලපත්‍රය නිකුත් කළේ කාගේ උවමනාවකට දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ ඔහුට චෝදනා තිබුණත් නඩුවක් පවරා තීන්දුවක් දී නැතිනම් සාමාන්‍ය ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ බාධාවක් නැති බවයි. නඩුවෙන් පසු ආගමන විගමන පාලකවරයා විසින් ඔහු ගැන ජාත්‍යන්තර ‍පොලීසියට දන්වා තිබෙන බවද සඳහන් කළේය.

ඔහුට විරුද්ධව ‍පොලීසිය පරීක්ෂණයක් පවත්වද්දී ඔහුගේ බිරිඳ ලංකාවට පැමිණ සාමාන්‍ය ගමන් බලපත්‍රයක් රැගෙන ගොස් ඇති බවත් මෙය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුම සහ සහයෝගය ඇතිව සිදුවූ දෙයක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නව රජය බලයට පත් වූ පසු උදයංග වීරතුංගට ලබා දී තිබූ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කළ බව කී නාවින්න ඇමැතිවරයා නඩු තීන්දුවක් නැතිනම් සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලන සෑම පුද්ගලයෙකුටම එය ලබාදිය යුතු බවද කීවේය.