ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කිරීමට යන හානියට එරෙහිව එහි නිලධාරීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු ඇමැතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රජය සෑම දෙයකටම ප්‍රතිව්‍යුහගතකරණය නම යොදමින් පෞද්ගලීකරණයට ඇද ගෙන යන බව පැවැසූ මන්ත්‍රීවරයා මේ නිසා වැඩ කරන ජනතාව ලොකු ගැටලුවකට මුහුණ පා සිටින බව පෙන්වා දෙයි.
සභානායකවරයාට මේ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකි නිසා විෂයභාර ඇමැතිවරයා ගෙන්වා සභාවට පිළිතුරක් ලබාදෙන ලෙසද ඉල්ලා හෙතම මෙහිදි සිටියේය.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ වසර 80 ක් පැරණි කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බැවින් රජය වහාම ඊට මැදිහත්ව ක්‍රියා කළ යුතු බවයි.
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව ඔවුන් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව පැවැසූ මන්ත්‍රීවරයා මෙම දිනය එක් දිනක් හෝ අකර්මණ්‍ය වුවහොත් ලක්ෂ 45 ක පමණ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීම අර්බුදයකට යන බවද අවධාරණය කළේය.
මෙහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ තමන් මේ පිළිබඳ කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ අවධානයට යොමු කරන බවයි.








