කුරුණෑගල – කැප්පිටිගල මාර්ගයේ මීලියද්ද ආරක්කු පාලම මතින් ගමන් කරමින් තිබූ ටිපර් රථ දෙකක්සමග එම පාලම අද උදෑසන දැදුරු ඔයට කඩාවැටී තිබේ.
එම අනතුරින් ලොරි රථ රියදුරෙකු බරපතල තුවාල ලැබූ අතර කුරුණෑගල – කැප්පිටිගල මාර්ගයේ මාර්ගයේ ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
අද පෙරවරු 10 ට පමණ කැප්පිටිගල දෙසින් පැමිණි කඵගල් පුරවා ගත් ටිපර් රථ දෙකක් එකවර පාලමට ඇතුල් කර ඒ මතින් ගමන් කරමින් සිටියදී එම ටිපර් රථ දෙකක් සමග පාලම දැදුරු ඔයට පහත් වී තිබේ.
1829 දී පමණ යටත් විජිත පාලකයින් විසින් දැදුරු ඔය හරහා ඉදිකළ බව කියන මෙම ආරුක්කු පාලම සම්පූර්ණයෙන්ම යකඩයෙන් නිම කර තිබූ එකකි.
යටත් විජිත සමයේ කැප්පිටිගල ප‍්‍රදේශයේ වගා කර තිබූ රබර් වතුවල නිෂ්පාදන ප‍්‍රවාහනය කිරීමේ අරමුණින් දැදුරු ඔය හරහා ඉදිකළ බව කියන මෙම පාලම වරින් වර ප‍්‍රතිසංස්කරණය කිරීම්වලට ලක් කර තිබූ නමුත් කඩා වැටෙන අවස්ථාව වන විට පාලම දැඩි අබලන් තත්වයක පැවැති බව ප‍්‍රදේශවාසීහු කියති.
විශේෂයෙන් පාලමේ බර දරා සිටීම සදහා යටත් විජිත පාලකයින් විසින් නිර්මාණය කර තිබූ යකඩ ආරක්කු කිහිපයක් මෑත කාලීනව ගලවා ඉවත් කිරීම නිසා පාලමේ සමබර බව බිදී ගොස් තිබූ බවද සදහන්.







