FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ අකුරට වැඩ කිරීමට සැරසෙයි…

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් බීමත්ව සිටීදැයි පරීක්‍ෂා කිරීමට ආරම්භ කර ඇති ක්‍රමවේදය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයට අනුව සිදු කරන ලෙස ඉල්ලමින් ගුවන් නියමු වෘත්තීය සමිතිය හෙට (09 වැනිදා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ඇරඹීමට නියමිත බව වාර්තා වේ.

බීමත්ව ගුවන්යානයක්‌ පැදවූ ගුවන් නියමුවාගේ සිද්ධියෙන් පසු ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශය මගින් අවිධිමත් ලෙස ගුවන් නියමුවන් පරීක්‍ෂාවට ලක්‌ කිරීමට පටන් ගෙන තිබෙන අතර ඊට එරෙහිව අදහස්‌ දැක්‌වූ තවත් ගුවන් නියමුවකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.

ගුවන් නියමුවන් පරීක්‍ෂා කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බවත් එය කළ යුත්තේ ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව බවත් වෘත්තීය සමිතිය කියා සිටී.

දැනට අවිධිමත් ආකාරයෙන් කෙරෙන පරීක්‍ෂණවලට විරෝධය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමට ගුවන් නියමු සංගමය තීරණය කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ගුවන් නියමු සංගමය කියා සිටී.