FAST NEWS

24×7 Around the Globe

සෙන්දිල් තොන්ඩමන් අධිකරණයට..

2013 වසරේ පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පලනි දිගම්බරම් මහතා හැටන් සිට කොළඹ දක්වා වාහනයකින් ගමන් කරමින් සිටියදී සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් විසින් දිගම්බරම් මහතා ගමන්ගත් වාහනය අවහිර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩු විභාගය අද (06) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

අදාළ නඩු විභාගය අද යළි කැඳවූ හැටන් දිසා විනිසුරුවරයා හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා අද දින නඩුවාරයට පෙනී නොසිටි ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු උප සභාපති හා වත්මන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මුත්තයියා රාමසාමි මහතාට වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් වන වත්මන් රජයේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද දින පැවැත්වෙන කැබිනට් රැස්වීමක් හේතුවෙන් අධිකරණය වෙත නොපැමිණෙන බව හැටන් පොලීසිය මගින් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිලි පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට එකඟතාවය පළකිරීම නිසා යළිත් මෙම නඩුව මෙම මස 26 වැනි දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.