සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ හිතුමතේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට එරෙහිව වහාම අපක්ෂපාතී විමර්ශනයක් සිදු නොකළහොත් දිවයින පුරා රෝහල්වල සිටින වෛද්‍යවරුන් දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඊයේ (05) පැවසීය.
වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ආයතන සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කරමින් අසත්‍ය කරුණු මත සැකසූ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයාට ජුව යොමු කිරීම, බලය අයුතු ලෙස යොදා ගනිමින් හිතවත් වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම, කොළඹ ජාතික රෝහලේ අවශ්‍යතාව පරිදි වෛද්‍යවරයෙක් අනුයුක්ත නොකර ඔහුගේ හිතුමතය පරිදි උගුර කන නාසය ඒකකයට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට එරෙහිව මෙම තීරණය ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඊට අමතරව එම වෛද්‍ය පරිපාලකවරයා වෛද්‍ය වාර්ෂික ස්ථානමාරු හා සියලු වෛද්‍ය නිලධාරී ස්ථාන මාරු ලැයිස්තු ආයතන සංග්‍රහයේ කාල රාමුවට අනුව නියමිත දිනට සිදු කිරීම හිතාමතා ප්‍රමාද කර ඇති බව ද ඔහු පැවසීය.
සියලුම පාර්ශ්ව එකඟතාවට පැමිණ තිබූ පසුගිය පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව අත්තනෝමතිකව වෙනස් කිරීම, කුසලතා මත ලබාදෙන පශ්චාත් සීමාවාසික ලැයිස්තුවේ කුසලතාවට පිටින් පත්වීම් ලබාදීම, වෛද්‍යවරුන්ට අසභ්‍ය ලෙස බැණවැදීම හා මානසික පීඩනයට පත්කිරීම මෙම වෛද්‍ය පරිපාලකවරයා විසින් සිදු කිරීම හේතුවෙන් එම නිලධාරියාට එරෙහිව විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වහාම ආරම්භ කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එසේ නොවුණහොත් දින දහයක් ඇතුළත දිවයින පුරා රෝහල්වල සියලු වෛද්‍යවරුන් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් එය දැනුම්දීමකින් තොරව සිදු කරන බවත් වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.